අවමඟුල රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී
හෙළ දෙරණේ අසහාය නිළි රැජින අද දැයෙන් සමුගනී

ඉතින් මට සමුගන්න අවසරයි

සිංහල සිනමා ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම කාන්තා රංග ප්‍රභාස්වරය බවට පත්වූ මෙරට නිළි පරපුරේ අග්‍රරාජණිය ලෙස රසික ප්‍රේක්ෂක විචාරක ගෞරවාදරයට පාත්‍රවූ, අන්තර් ජාතික මට්ටමින් සම්මානයට පාත්‍ර වෙමින් එවන් බුහුමනක් ලද මෙරට ප්‍රථම රංගන ශිල්පිණිය ද වූ ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහා රංගවේදිනිය අද (26දා) සවස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සදහටම ලක්මවට සමුදෙන වග දිවයින සාතිශය සංවේගයෙන් යුතුව වාර්තාකර සිටින්නීය.

ඉතින් මට සමුගන්න අවසරයි

චිත්‍රපට එකසිය පනහකට අධික සංඛ්‍යාවකට රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන්ද දායක වෙමින් පුරා දශක හයකට අධික කාලයක් සිනමාවේද වේදිකාවේද රූපවාහිනියේද පෙළහර පෑ ඇය අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවූවාය.

වන්නිආරච්චිගේ ගිල්බට් ෆොන්සේකා, ඇල්වලගේ සීලවතී ෆොන්සේකා මව්පිය දෙපළගේ දියණියක ලෙස 1947 අප්‍රේල් 30 වැනිදා උපත ලැබූ මාලිනී ෆොන්සේකා මහත්මිය සොයුරු සොයුරියන් එකොළොස් දෙනකුගෙන් යුත් පවුලේ තෙවන දරුවා වූවාය.

නුගේගොඩ ශාන්ත ජෝන් ප්‍රාථමික විදුහලෙන් පාසල් දිවිය ඇරඹූ ඇය ඉන් අනතුරුව කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වූවාය. ඇය දහම් අධ්‍යාපනය ලැබුවේ කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ධර්ම විද්‍යාලයෙනි.

ඉතින් මට සමුගන්න අවසරයි

1963 දී කැලණි කල්‍යාණි අවුරුදු කුමරිය ලෙස කිරුළ හිමිකරගත් මාලිනී ෆොන්සේකා රංගනයට සහජ දක්ෂතාවයක් දැක්වූවාය. එම හේතුව නිසාම එස්. මලල් සහ විල්මට් පෙරේරා යන ගුරුවරුන්ගේ තෝරා ගැනීම මත මාලිනී ප්‍රථම වරට වේදිකාවට පා තබමින් ‘නොරත රත’ නාට්‍යයේ රඟපෑවාය. ඇයගේ දෙවන වේදිකා නාට්‍ය වූයේ 1964 රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා එස්. කරුණාරත්න නිෂ්පාදනය කළ ‘ගුත්තිල’ ය.

රංජිත් ධර්මකීර්තිගේ ‘මහගෙදර’, ‘නුවණ පොදිය’, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ ‘බකතපස්’, ධර්මදාස ජයවීර, සුමන ආලෝක බණ්ඩාරගේ ‘අකල් වැස්ස’ වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑ මාලිනී 1965 රාජ්‍ය නාට්‍ය උළෙලේ දක්ෂතම රංගන ශිල්පිණිය ලෙස සම්මාන ලැබුවේද අකල් වැස්ස නාට්‍ය වෙනුවෙනි. රංජිත් ධර්මකීර්තිගේ මළවුන්ගෙන්, එස්. කරුණාරත්නගේ හිරු අවරට ගියාදෝ, සුනන්ද මහේන්ද්‍රගේ සයුරෙන් ආ ළඳ, බී. රත්නායකගේ අමල් බිසෝ, ගුණසේන ගලප්පත්තිගේ ලියතඹරා, සෑම් පෙරේරාගේ ඉවබව නැති ලොව, ප්‍රේමකුමාර එපිටවලගේ නුවණ පොදිය, සුවන ආලෝක බණ්ඩාරගේ නිදිකුම්බා මාලිනී රඟපෑ තවත් වේදිකා නාට්‍ය කීපයකි.

ඉන් අනතුරුව සිනමාවට ප්‍රවිෂ්ඨ වන්නට මාලිනිය වරම් ලබන්නේ ජෝ අබේවික්‍රම හා තිස්ස ලියනසූරිය යන ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙපළගේ මඟපෙන්වීම මත 1968 පෙබරවාරි 26 වැනිදා තිරගතවූ ‘පුංචි බබා’ චිත්‍රපටයේ මාලී ගේ චරිතය රඟපාමිනි. තිස්ස ලියනසූරිය එම චිත්‍රපටය එදා අධ්‍යක්ෂණය කර තිබූ අතර සුගතදාස මාරසිංහ නිෂ්පාදකවරයා විය.

ඉන් අනතුරුව ඇරඹි ඇයගේ සිනමා දිවිය 1970 – 80 – 90 දශකයන් හී ආදායම් වාර්තා තැබූ බහුතරයක් චිත්‍රපටවල ප්‍රධාන නිළිය වශයෙන් වර්ණවත් මතක සටහන් රැසක් තැබූ යුගයක් බවට පත් විය. ගාමිණී – මාලිනී, විජය – මාලිනී යුග ලෙස නම් කළ හැකිවූ සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස තහවුරු වූ ස්වර්ණමය කාල සීමාවේ ඉදිරියෙන්ම සිටි රංගන ශිල්පිණිය වූයේද මාලිනී ෆොන්සේකාය.

මෙරට බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස අන්තර්ජාතික ගරු බුහුමනට පත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ චිත්‍රපටයේ (1972) ගාමිණී ෆොන්සේකා ශූරීන් සමග ප්‍රධාන චරිත නිරූපණයේ යෙදුණේ ද මාලිනී ෆොන්සේකා රංගවේදිනියයි.

සිංහල සිනමාවේ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට වූ තුෂාරා, ආදරේ හිතෙනව දැක්කම, සදහටම ඔබ මගේ, හතර දෙනාම සූරයෝ, කවුද රජා මෙන්ම නිධානය, පෙම්බර මධූ, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ වෙයි.

නිධානය (අයිරින්) එයා දැන් ලොකු ළමයෙක් (සුසිලා) සිරිපාල හා රන්මැණිකා (රන්මැණිකා) බඹරු ඇවිත් (හෙලන්) සොල්දාදු උන්නැහේ (පේමක්කා) ඉන්දුට මල් මිටක් (නිසංසලා) එක්ටැම්ගේ, අක්කර පහ, අහස් ගව්ව, බැද්දේගම, ස්ත්‍රි (මැගී හාමි) ඇතුළු තවත් සිනමා පට ගණනාවකද වාණිජ සිනමාවේ ‘බැද්දේගම’, කවුද රජා, සරදියෙල්ගේ පුතා, දැන් මතකද, එදත් සූරයා අදත් සූරයා, හතර දෙනාම සූරයෝ, සූරයා සූරයාමයි, අනුපමා, උන්නත් දාහයි මලත් දාහයි, පෙම්බර මධු, හිඟන කොල්ලා, හිතුවොත් හිතුවාමයි, ප්‍රවේසම් වෙන්න, සිනාවයි ඉනාවයි, සුහද පැතුම, තුෂාරා, සංගීතා, ප්‍රදීපේ මා වේවා, දියමන්ති, හොඳට හොඳයි, සදහටම ඔබ මගේ, කස්තුරි සුවඳ, දෙවියනි ඔබ කොහිද?, දඬුමොනර, බඹර පැටික්කි, අපේක්ෂා, ආරාධනා, නැවත හමු වෙමු, සැලී, රක්තා වැනි චිත්‍රපට ද තවත් විටෙක සිරමැදුර, මධු සමය වැනි චිත්‍රපටවල ද ඇය තම භූමිකාව එකසේ වින්දනය කළාය.

මාලිනී රඟපෑ බොහෝ චරිත තුළ පෙම්වතියගේ මෙන්ම ශ්‍රී ලාංකීය ස්ත්‍රිත්වයේ දුක් පීඩා උහුලන ගැහැනිය මෙන්ම එම චරිතවල කායික හා මානසික දෙයාකාරයෙන්ම ප්‍රබල ප්‍රකම්පනය ද ඇය ප්‍රේක්ෂක හදවතට දනවා ලීය.

සසර චේතනා ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයාගේ භූමිකාවට ප්‍රවිෂ්ඨ වූ මාලිනි අහිංසා, ස්ත්‍රී, සඳමඩල වැනි සිනමාපට ද නිර්මාණය කළාය.

දකුණු ඉන්දීය දැවැන්ත නළුවකු වූ සිවාජි ගනේෂන් සමග ‘පයිලට් ප්‍රේමනාත්’ හි ප්‍රධාන චරිතය රඟපෑ මාලිනි ‘නිරූපමාලා’ තුළින් ටෙලි රංගනයට ද ස්වකීය ප්‍රතිභාන්විත දායකත්වය මුසු කර ඉන් ඉක්බිතිව පිටගම්කාරයෝ, කෙම්මුර, මහ මෙර පාමුළ වැනි ටෙලි නිර්මාණ රැසකට ද විශිෂ්ට වූ රංගන දායකත්වය ලබාදුන්නේ අලුත් පරපුරට විටෙක රංගන ශිල්පිනියක ලෙස මෙන්ම ‘රංගනයේ මවක’ ලෙස ගුරුහරුකම් හා දිරිය නොඅඩුව ලබා දෙමිනි.

මෙතෙක් දෙස් විදෙස් වැඩිම සම්මාන රැසක් හිමිකරගත් මහා රංගවේදිනිය වන ඇය ‘එයා දැන් ලොකු ළමයෙක්’ හි රඟපෑම වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ඩිප්ලෝමා සම්මානයකට පාත්‍රවෙමින් ප්‍රථම වරට ජගත් සම්මානයක් රංගනය උදෙසා ලද නිළිය ද වන්නීය. එදා එම චිත්‍රපටය තේරූ විනිශ්චය මණ්ඩලයේ ඉන්දියාවේ මහා සිනමාකරු සත්‍යජිත් රායි ද විය.

මේ සියල්ලටම වඩා රුක්මණී දේවියගෙන් පසු සිංහල සිනමාවේ කිත් යසස් කොපමණ ලැබුවද නිහතමානීත්වය නැමති කිරුළ ජනතාව සිය හිස මත මියයන තුරුම ‘පැළඳවූ’ කෘතවේදී අව්‍යාජ මහා රංගවේදිනියක ලෙස ශ්‍රී ලාංකේය ජන හද ස්පන්දනයේ නොමැකෙන මතකය රඳවාලූවාය.

‘මියයන්ට සති කිහිපයකට පෙර ඇය වෙනුවෙන් සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ඇතුළු කලාකරුවන් ඉදිරියේ විටෙක ආරාධනා චිත්‍රපටයේ ඇය රවීන්ද්‍ර රන්දෙනිය හා කළ ප්‍රේමාන්විත රංගනයට ඇතුළත්වූ ‘සීත අරණේ සුපුල් නාමල’ ගීතය (මිල්ටන් මල්ලවආරච්චි හා මාලිනී බුලත්සිංහල යුග ගායනය කළ කුලරත්න ආරියවංශ ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ විජය රාමනායක නිපයූ ‘ආරාධනා’) ගීතය ගයමින් ද තවත් විටෙක එදත් සූරයා අදත් සූරයා, ආවා සොයා ආදරේ වැනි චිත්‍රපටවල ගීත ක්ලීටස් මෙන්ඩිස්, හේමාල් රණසිංහ වැනි රංගවේදීන්ගේ රංගනය සමගින් ඉදිරිපත් වෙද්දී ඇය අපූර්ව සතුටකින් එය නැරඹූ අන්දම අපි දුටුවෙමු.

“මම ඔබට ආදරෙයි, ආවා සොයා ආදරේ, ඒ ආදරය හැමදාකම මා ළඟ තිබෙනවා ඔබට පුදන්නට… ඔබ හැමටම මම සදා ආදරෙයි” කියද්දී ඇගේ දෙනෙතින් ගැලූ සතුටු කඳුළු ජයන්ත ධර්මදාස ඇතුළු සෙසු සියල්ලගේම නෙතඟ තෙත් කළ සංවේදී දසුනක් විය.

දැයෙන් සමුගත් මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවය සහිතව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇත. මාලිනීගේ පවුලේ ඥාතීන් ගේ සහභාගිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පෙරේදා විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. ජනාධිපති ලේකම් හා සංස්කෘතික ඇමැති සුනිල් සෙනෙවි ඇතුළු සියලු ඉහළ නිලධාරීහු ද ඊට එක්වූහ.

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා ‘තරංගනී’ සිනමා ශාලාවට දේහය රැගෙන විත් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබිණි. මාදිවෙල පිහිටි ඇගේ නිවසේ සිට දේහය රැගෙන එද්දී මග දෙපස රැස්ව සිටි දහස් ගණන් ජනතාවද දෙඅත් එක්කර ඇයගේ දේහය රැගෙන ගිය රිය වෙත සිය ගෞරවය පුද කරනු දක්නට ලැබිණි. විශාල ජනකායක් මාදිවෙල නිවෙසට මෙන් ම ඊයේ උදේ සිට තරංගනී සිනමා ශාලාව වෙත ඇදී එන අයුරු ද දක්නට ලැබිණි.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ ඇගේ දේහය අද (26දා) උදේ 9.00 සිට මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙන අතර ප.ව. 4.00ට පමණ මාලිනී ෆොන්සේකා මහා රංගවේදිනියගේ දේහය පිළිබඳ අවමඟුල් උළෙල පැවැත්වෙනු ඇත.

දිනේෂ් විතාන, සචිත්‍ර ඇල්වලගේ, ධම්මික සල්වතුර, කමල් බෝගොඩ
ඡයාරූපය – දයාන් විතාරණ


advertistmentadvertistment