ඉතිහාසය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් අවශ්‍යයි – උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී කියයි

164

මහාවංශයට ද එහා ගිය අප ඉතිහාසය පිළිබඳව විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11දා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

ඔහු එහිදී මෙසේ ද කීවේය.

අප කුඩා කාලයේ ආනන්ද කුමාර් ලංකාවෙන් ලෝක වාර්තාවන් තබා තිබුණා. දඟර නැටුමට, තනි කකුලෙන් සිටගෙන සිටීමට, පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා යෑමට වාර්තා තැබුවා. ඒවා දැන් අලුත් වෙලා ගිනස් පොතට අලුත් වාර්තා ගිහිල්ලා. නමුත් අපේ වාර්තා දෙකක් කාටවත්ම කඩන්න බැහැ. පළමු වාර්තාව තමයි වසර 2300ක් අඛණ්ඩව බහුතරයේ ආගම විදිහට එකම ආගමක් අදහමින් ඉඳීම. ඒ තමයි බුදු දහම. දෙවෙනි කාරණය තමයි අඛණ්ඩව වසර 2600 ක ලිඛිත ඉතිහාසයක් තිබීම. ඒ තමයි අපේ මහාවංශය.

ලෝකයේ දිගම ලිඛිත ඉතිහාසය අපට තියෙන නිසාදෝ අපි මහාවංශය පිළිබඳවම කතා කරමින් සිටිනවා මිස මහාවංශයෙන් ඔබ්බට ගිය අපේ ඉතිහාසය පිළිබඳව සොයන්නට උනන්දු වන්නට අමතක කරලා තියෙනවා. අපේ දීර්ඝකාලීන ඉතිහාසය පිළිබඳව මහාවංශය ම ඉඟි පළ කරනවා. විජය කුමාරයා ලංකාවට එනවිට කුවේණිය සිටින්නේ කපු කටිමින්. එදා රාජ මංගල උත්සවයක්. මහා සැණකෙළියක්. සිරිසවත්ථු කියන මහා නගරයේ පැවැත්වෙන සැණකෙළිය ගැන කියන්නේ මහා වංශයයි. මත්පැන් පානය කරලා නටලා වෙහෙසිලා නිදා හිටපු පිරිසක් තමයි විජයගේ පිරිස වීරයෝ වගේ ඇවිදින් මරා දමන්නේ. මහාවංශය කියනවා ඔවුන්ව මරා දැමුවා විතරක් නෙමෙයි මරාදැමූ පිරිසගේ ලේ වැකුණු ඇඳුම් විජයගේ පිරිස විසින් තමන්ගේ ඇඳුම් ඉවත් කර ඇඳ ගත්තා කියලා. එහෙම නම් එදා අපේ දේශීය ඇඳුම් කෙතරම් විසිතුරු වෙන්න ඇද්ද මළ මිනියක තිබූ ලේ වැකුණු ඇඳුම් පවා ගලවා ඇඳ ගන්න.

රාමායනයේ තියෙන්නේ අපේ ආක්‍රමණිකයාගේ කතාව. රාම කුමාරයා ඇතුළු ලංකාව ආක්‍රමණය කරන්නා වූ පිරිසගේ කතාව තමයි රාමායනේ තියෙන්නේ. අපේ සතුරා වුවත් අප රට තුළ තිබූ තාක්ෂණික දියුණුව ගැන වර්ණනා කරනවා. ඉන්දියාවේ අය එදා අහසින් ගමන් කර තියෙන්නෙ සෘද්ධි බලයෙන්. සිත දියුණු කරලා. අපේ අය ගමන් කළේ තාක්ෂණය දියුණු කරලා. එදා ගුවන් යානා ගැන රාමායනය කතා කරනවා. හනුමන්තා සීතා කුමරිය සොයා ගෙන එද්දී රාවණ රජතුමාගේ මහා ප්‍රාසාදයේ ඉහළට යන්න තිබෙන්නේ සෝපානයක්. මේසා විශාල තාක්ෂණයක් අපේ රටේ තිබුණා කියලා කියන්නේ අපේ සතුරන්මයි.

ඇතැමුන් මෙය මිථ්‍යාවකැයි කීමට උත්සාහ දරනවා. නාසා ආයතනය විසින් 2001 කාබන් පරීක්ෂාවක් කරලා මේ හනුමාන් පාලම වසර හත්දහසක් පරණ යැයි කියනවා. රාමායනයේ මෙය ඉදි කළ යුගය ලෙසින් සැලකෙන යුගයමයි කාබන් පරීක්ෂාවෙන් ද තහවුරු වෙන්නේ.

රාවණා රජු අප වන්දනා කරනවා. රාවණා රජුන් ගැන හොයන්න පර්යේෂණ කරන්න අදහන්න අපව යොමු කරපු අරිසෙන් අහුබුදු සූරීන්ට ප්‍රණාමය පුද කරන්න මෙය අවස්ථාවක් කරගන්න ඕනෑ. රාවණා රජු හුදෙක් රණ ශූරයෙක් විතරක් නොවෙයි. වෙදකම ජ්‍යොතිෂය, වාදනය, ක්‍රීඩාව වැනි විෂයන් දහයකට ඔහු නිපුනයකු වුණු නිසයි ඔහුට දසිස් කිව්වේ. සමහරු හිතන්නේ ඔළු ගෙඩි දහයක් තිබ්බා කියලයි. නමුත් ඔහුට ඔළු ගෙඩි දහයක් නෙවෙයි ඔළුගෙඩි දහයක දැනුම තිබුණා. තවත් සමහරු කියන විදිහට වේද දහයයි උපනිෂ්ද් හයයි පිළිබඳව ඔහුට තිබුණු මහා දැනුම නිසයි දසිස් කිව්වේ. රාමායනය යනු අපේ සතුරාගේ කතාවයි. සෑම කතාවකටම කතා තුනක් තියෙනවා. මිතුරු පිලේ කතාව. සතුරු පිලේ කතාව. ඒ දෙක මැද ඇති ඇත්ත කතාව. රාමායනයේ තියෙන්නෙ අපේ සතුරු පිලේ කතාව. අපේ රාවණගේ කතාව කෝ. බලි තාරක යුගය ගැන අප කිසිදු පරීක්ෂණයක් කරලා නැහැ. බලන්ගොඩින් සොයා ගත් අපේ ජනාවාසය වසර හතළිස් දහසක් පරණයි. දකුණු ආසියාවේ මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ජනාවාස ලෙසින් හැඳින්වෙන්නේ මෙම ජනාවාස යයි. මෙය තවදුරටත් මිථ්‍යාවක් ලෙසින් බැහැර නොකොට මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක්, පර්යේෂණයක් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

අකිත පෙරේරා


advertistmentadvertistment