ඉන්දියන් සාගරයේ මීතයිල් ආතල් – (වහා මියයන සුළුය)

722

මෙයට කලකට පෙර මීරිගම තැපැල් කන්තෝරුවට ගුවන් තැපෑල හරහා බඩු පෙට්ටියක් ලැබිණි. රාත්‍රී කාලයේදී ලියුම් තෝරමින් සිටි තැපැල් මහත්තුරු මේ පෙට්ටිය විවර කර කුමක් තිබේ දැයි බැලූහ. පෙට්ටිය තුළ කදිම මත්පැන් බෝතලයක් තිබෙනු දක්නා ලදී. මත්පැන් කෙරෙහි ඉමහත් පෙරේත කමින් පෙළුණු තැපැල් සේවකයන් කිහිප දෙනෙක් බෝතලය විවර කර කෝටා ක්‍රමයට එය පානය කළහ. ඉන් ස්වල්ප වෙලාවකට පසු මත්පැන් පානය කළ සියලුම දෙනා බිම ඇද වැටුනාහ. මෙය මෙතැනින් නොනවතී. වෙරිවූ පිරිස රෝහල්ගත කරන ලදී. එතැන් සිට මාරයාගේ වේලාව උදාවූ අතර පැය කිහිපයක් ගතවත්ම තැපැල් සේවකයෝ පස් දෙනෙක් පමණ මිය ගියහ. ඔවුන්ගේ මරණයට හේතුව මත්පැන් විෂ වීම බව පසුව සොයාගන්නා ලදී. සාමාන්‍යයෙන් තැපෑලෙහි සහ වරායේ සිටින ඇතැම් සේවකයෝ පිට රටින් එවන මත්පැන් සොරකම් කර පානය කරති. මෙය දීර්ඝකාලීන ක්‍රියාවකි. සාමාන්‍යයෙන් පිට රටින් අරක්කු හෝ කසිප්පු එන්නේ නැත. විස්කි, බ්‍රැන්ඩි, ජින් වැනි සැර මත්පැන් වර්ග පිට රටින් මෙහි එවනු ලැබේ. කසිප්පු සහ අරක්කු පමණක් පානය කරන ඇතැම් ජනයා රට බීමවලට මහත් පෙරේත කමක් දක්වති. මේ පෙරේත කමේ අවසන් පලය වන්නේ බොන එකා මියයෑමය.

මේ හා සමාන සිද්ධියක් පසුගියදා තංගල්ලට නාවික සැතපුම් හාරසීයක් පමණ ඈතදී සිදුවිය. තංගල්ලෙන් පිටත්වූ ධීවර යාත්‍රාවක් පෙරකී නාවික සැතපුම් ප්‍රමාණය පසු කළ විට මුහුදේ පාවන කෑන් එකක් දක්නා ලදී. වහාම කෑන් එක නැව තුළට බාගත් ධීවරයෝ එහි මූඩිය ගලවා බැලූහ. ලීටර් පහේ කෑන් එකක් වූ ඒ තුළින් ගලා ආවේ කදිම මත්පැන් සුවඳකි. ඒ නිසා හදිසියේම මතුවූ ඇඟේ පතේ අමාරුවක් පහ කරගනු පිණිස කට්ටියම කෑන් එකේ තිබූ මත්පැන් පානය කළහ. මීරිගම තැපැල් කන්තෝරුවේ තැපැල් මහත්වරුන්ගේ සිද්ධිය මෙතැනදී පුනරුච්ඡාරණය විය. කෑන් එකේ තිබූ ද්‍රාවනය පානය කළ සියලුම දෙනා ක්ලාන්තවී බිම වැටුණු අතර පසුව එකා බැගින් මියයන්නට පටන් ගත්තේය. අන්තිමේදී මසුන් මැරීමට ගිය ධීවර යාත්‍රාව මළ මිනී කිහිපයක්ද සමග මුහුදේ පාවෙන්නට විය. ගොඩබිමෙන් නාවික සැතපුම් හාරසීයක් පමණ ගිය තැන හමුවන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවය. මෙවැනි ප්‍රදේශයක අතරමං වන යාත්‍රාවක් සමාන වන්නේ ගඟකට හෙලූ අල්පෙනෙත්තකටය. පසුව නාවික හමුදාවේ උපදෙස් පරිදි සිංගප්පූරුවේ වෙළෙඳ නෞකාවක් මගින් පෙරකී යාත්‍රාවේ පණ පිටින් සිටි ධීවරයන් දෙදෙනෙක් බේරාගන්නා ලදී. ස්වල්ප වේලාවකට පසු එයින් එක් අයෙක්ද මියගියේය. මිනිසුන් කිහිපදෙනෙක් තුළ මත්පැන්වලට තිබූ පෙරේතකම නිසා අද මුළු තංගල්ලම මළ ගෙයක් බවට පත්ව තිබේ. මළ සිරුරු සහිත බෝට්ටුව මුහුදේ පාවෙන බව නාවික හමුදාව දැනගත් පසු මියගිය ධීවරයන්ගේ ඥාතීන් තංගල්ල නගරයට පැමිණ ලොකු විරෝධතාවක නිරත වූහ. තමන්ට උදව් කිරීමට කිසිවකු නැති බව කියමින් ඔවුහු රජයට දොස් කියන්නට වූහ. මෙය යකාගේ කතාවකි. විෂ මත්පැන් තිබූ කෑන් එක ජාත්‍යන්තර මුහුදු සීමාවට පා කළේ ලක් රජය විසින් නොවේ. මේ සම්බන්ධයෙන් අප අනුමාන කරන කතාව මෙසේය. පෙරකී කෑන් එකේ තිබුණේ මීතයිල් හෙවත් මෙතිල් ඇල්කොහොල් ය. මේවා මෙතනොල් යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මීතයිල් මද්‍යසාරය ඉතා විෂ සහිතය. එය “නීට්” එකට හෙවත් අමු අමුවේම පානය කළ විට මුලින්ම සිදුවන්නේ ඇස් අන්ධ වීමය. මරණය ළඟාවන්නේ දෙවනුවය. අන්ධභාවය සහ මරණය යන කාරණාවල අතරවාරයේදී ඔක්කාරය, වමනය, පපුවේ දැවිල්ල, හිසේ කැක්කුම, ඔලුවේ බර ගතිය, නින්ද නොයෑම, කුසගින්න නැතිවීම, දහදිය දැමීම, ඇඟ පුරා බිබිලි දැමීම වැනි ලක්ෂණ හටගනී. මෙහිදී මාර පරාජය ඉතා දුෂ්කරය. දොස්තර කෙනකුගේ ක්ෂණික මැදිහත්වීම නැතොත් මාරයා මෙතිල් ඇල්කොහොල් බොන අය ගෙදර කැඳවාගෙන යෑමට මහත් සේ ප්‍රිය කරන්නේය.

තංගල්ලෙන් පිටව ගිය ධීවර යාත්‍රාවට හමුවූ කෑන් එක මුහුදට වැටුනේ කොහොමද? අපගේ විශ්වාසය අනුව එය විෂ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කළ නැවකින් මුහුදට වැටෙන්නට ඇති. මෙවැනි විෂ ගුලියක් පරිසරයට මුදාහැරුණු විට මාරයා ඒ වටා කැරකෙමින් ආතල් ගන්නට පටන් ගනී. මත්පැන්වලට කැමති පෙරේතයන් පෙරකී විෂ ගුලිය ආශ්‍රිතව හැසිරෙත්නම් මාරයාට ඒ ගැන මහත් සතුටක් උපදී. තංගල්ල සිද්ධියේදී මාරයා සිය හැසිරීම සම්පූර්ණයෙන්ම මුදාහරින්නට ඇති. නැත්නම් මේ විදියේ ඛේදවාචකයක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment