ඉන්දියාවේ රජුන් තනන්නෝ නීටිෂ් කුමාර් සහ චන්ද්‍රබාබු නායිඳු මෝදි ගමෙන් ප්‍රතික්ෂේප වෙලා

1130

මෝදිට තනිව ආසන 240යි

දිවුරුම්දීම අනිද්දා

භාරතීය ජනතා පක්ෂය සමග එක්ව නව සන්ධාන රජයක් පිහිටු වීම සඳහා කටයුතු කරන බව අන්ද්‍රා තෙලිඟු දේශාම් පක්ෂයේ නායක චන්ද්‍ර බාබු නායිඳු මහතා ප්‍රකාශ කර ඇත.

පසුගියදා පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තනිව දිනා ගැනීමට හැකිව ඇත්තේ ආසන 240ක් පමණි.

2019 වසරේ දී පැවැති ඉන්දීය මහ මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය තනිවම ආසන 303ක් දිනා ගැනීමට සමත් විය. මෙවර මහ මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට දිනා ගැනීමට හැකිවුණේ ආසන 286ක් පමණි.

නරේන්ද්‍ර මෝදි යටතේ නව රජයක් පිහිටු වීම සඳහා අන්ද්‍රා තෙලිඟු දේශාම් පක්ෂය හා නීටිෂ් කුමාර්ගේ නායකත්වයෙන් යුත් ජනතා ඩාල් පක්ෂයේ සහාය ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. තෙලිඟු දේශාම් පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් ආසන 16ක් දිනාගෙන ඇති අතර ජනතා ඩාල් පක්ෂය ආසන 12ක් ජය ලබා තිබේ.

නව සන්ධාන රජයේ කථානායක තනතුර තමන් බලාපොරොත්තු වන බව චන්ද්‍ර බාබු නායිඳු මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත. මැතිවරණ සමයේ දී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවර මැතිවරණයේ දී තම පක්ෂය තනිවම ආසන 370ක් දිනා ගන්නා බවය. තම සන්ධානයට සහාය දක්වන පක්ෂවලින් තවත් ආසන 30ක් දිනා ගන්නා බවත් කියා තිබිණි. නමුත් බලාපොරොත්තු වූ ආකාරයට භාරතීය ජනතා පක්ෂයට එම ජයග්‍රහණය ලබාගැනීමට නොහැකි විය.

රාම් දෙවොල ඉදිකරනු ලැබූ අයෝධ්‍යාව පිහිටි ෆයිසාබාද් ආසනයේ බලය ද භාරතීය ජනතා පක්ෂයට අහිමි වී ඇත.

ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව අගමැති මෝදිගේ පක්ෂය ප්‍රතික්ෂේප කර ඇති බව මෙවර මැතිවරණ ප්‍රතිඵලවලින් හෙළි විය. ඒ නිසා පසුගිය වතාවට වඩා දෙගුණයක් ආසන දිනාගැනීමට ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමත් විය. නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පෙරේදා (04දා) දිල්ලි නුවර දී අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව තිබිණි.

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව රජුන් තනන්නන් බවට පත්ව ඇත්තේ චන්ද්‍ර බාබු නායිඳු සහ බිහාර් මහ ඇමැති නීටිෂ් කුමාර් යන දේශපාලන නායකයන් දෙදෙනාය.

ඉන්දියාවේ රජුන් තනන්නෝ නීටිෂ් කුමාර් සහ චන්ද්‍රබාබු නායිඳු මෝදි ගමෙන් ප්‍රතික්ෂේප වෙලා

මෙවර ප්‍රතිඵලවලින් පෙනී යන්නේ, මෝදි නමැති සන්නාමයට පහරක් එල්ල වී ඇති බව ය.

විපක්ෂ කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි වාර්තාකරුවන්ට පැවසුවේ මෝදි සහ භාරතීය ජනතා පක්ෂයට ඡන්ද පෙට්ටියේ ඡන්දදායකයින් විසින් ‘දඬුවම්’ කර ඇති බවයි.

ඉහළ යන භාණ්ඩ මිල ගණන්, රැකියා විරහිතභාවය, මතභේදාත්මක හමුදා බඳවා ගැනීමේ ප්‍රතිසංස්කරණය සහ රටෙහි ඇතැම් ප්‍රදේශවල ඡන්දදායකයින් විරසක කළ හැකි මෝදිගේ ආක්‍රමණශීලී සහ බෙදුම්වාදී ව්‍යාපාරය, භාරතීය ජනතා පක්ෂයේ පසුබෑමට හේතු වී ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

මෙම මැතිවරණය බොහෝ දෙනා විසින් මෝදිගේ පාලන දශකය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සැලකූ අතර, එම කාලය තුළ ඔහු ඉන්දියානු ජීවිතයේ බොහෝ පැති පරිවර්තනය කර ඇත. එබැවින් මෙය විශාල කැළඹීමක් වනු ඇත. රට පුරා ඇති භාරතීය ජනතා පක්ෂ කාර්යාලවල මනෝභාවය වාර්තාකරුවන් විසින් විස්තර කර ඇත්තේ ‘අඳුරු’ එකක් ලෙසිනි.

මෝදි අනිද්දා දිව්රුම් දෙයි

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය සඳහා අනිද්දා (08දා) දිව්රුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ සමගම ඔහුගේ නව කැබිනට් මණ්ඩලය ද දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.

මෝදිගේ නායකත්වයෙන් යුත් සන්ධානය ආසන 543ක් සහිත ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 293ක් දිනාගෙන තිබුණි. ඉන් ආසන 240ක් ම මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විසින් දිනාගෙන තිබුණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment