2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලානය
2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලානය යටතේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඊයේ (06 දා) ඩුබායිහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබාගැනීමට සමත්වූහ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි ඉන්දීය ක්‍රීඩිකාවෝ පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 108ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වූවාය. ඒ අනුව 2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලානයේ පළමු ජය සටහන් කර ගැනීමට ද ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකිවිය.
පෙර තරගයේ පරිදිම පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා ලෙස මුනීබා අලී සමග ගුල් ෆෙරෝසා කටයුතු කළ අතර ගුල් ෆෙරෝසාව ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ෂෙයන්කා පටිල් සමත් විය. ඉන් අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 22ක් වන විට දෙවැනි කඩුල්ලත්, ලකුණු 33 දී තෙවැනි කඩුල්ලත්, ලකුණු 41දී සිව්වැනි කඩුල්ලත්, ලකුණු 52දී පස්වන කඩුල්ලත් බිඳ දැමීමට සමත්වූ ඉන්දීය පන්දු යවන්නියෝ පාකිස්තාන කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුවද පෙර තරගයේදී මෙන්ම යම් ස්ථාවර ඉනිමක් දියත් කිරීමට සමත් වූ පාකිස්තාන කණ්ඩායමේ නීඩා ඩර් සමත් වූවාය. ඇය අවසාන පිතිකාරිනියන් සමග එක්ව ලකුණු 28ක් ලබාගැනීමට සමත් විය. ඊට අමතරව මුනීබා අලී ලකුණු 17ක් ලැබීය. නව නායිකා ෆාතිමා සානා වේගවත් ඉනිමක් දියත් කිරීමට උත්සාහ දැරූ අතර ඇය ආශා සෝබනාගේ පන්දු දෙකක් හමුවේ පිට පිට හතරේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වූ අතර අනතුරුව යැවූ පන්දුවේදී අති විශිෂ්ට උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩිකාව රැකගැනීම හේතුවෙන් ලකුණු 13කට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105කට සීමා විය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අරුන්දතී රෙඩ්ඩි ලකුණු 19කට කඩුලු 3ක්, ෂෙයන්කා පටිල් ලකුණු 12කට කඩුලු 2ක්, රේණුකා සිං ලකුණු 23කට කඩුලු 1ක්, දීප්ති ශර්මා ලකුණු 24කට කඩුලු 1ක් සහ ආශා සෝබනා ලකුණු 24කට කඩුලු 1ක් දවාලීය.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වන ශෆාලි වර්මා සහ ස්මි්‍රති මන්දනා සුපුරුදු ලෙස ඉනිම ආරම්භ කළ අතර, පාකිස්තාන ක්‍රීඩිකාවන් ද ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ස්මි්‍රති මන්දනාව ලකුණු 7කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සාදියා ඉක්බාල් සමත්වූවාය. ඉන් පසුව ඉතා ඉවසිලිවන්ත ලෙස ඉනිම දියත් කළ ශෆාලි වර්මා සහ ජෙමීමහ් රොද්‍රිගවුස් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 43ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූහ. මුළු ලකුණු සංඛ්‍යාව 61ක් වන විට ශෆාලි වර්මාව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ඔමයිමා සොහෙල් සමත් වූ අතර ඒ වන විට ශෆාලි ලකුණු 32ක් ලබා සිටියේය.
ඉන් අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 80ක් වන විට ෆාතිමා සානාගේ පන්දුවක් හමුවේ ලකුණු 23කට ජෙමීමහ් රොද්‍රිගවුස් තෙවැනි කඩුල්ල ලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ අතර, ඉන්දීය කණ්ඩායමේ නායිකාව වන හරමන්ප්‍රීට් කවුර් ආබාධ තත්ත්වයක් නිසා ලකුණු 29ක් ලබා සිටියදී ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය. අනතුරුව දීප්ති ශර්මා සහ සංජීවන් සංජනා එක්ව ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
තරගයේ වීරවරිය ලෙස ඉන්දීය කණ්ඩායමේ අරුන්දතී රෙඩ්ඩි සම්මාන ලැබීය.
ලකුණු සාරාංශය
පාකිස්තානය නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105යි.
නීඩා ඩර් 28, මුනීබා අලී 17, ෂේඩා ඇරෝබ් 14, ෆාතිමා සනා 13, ශිද්‍රා අමීන් 08, නිෂ්රා සන්දු 06යි.
(අරුන්දතී රෙඩ්ඩි 19/3, ෂෙයන්කා පටිල් 12/2, රේණුකා සිං 23/1, දීප්ති ශර්මා 24/1, ආශා සෝබනා 24/1.)
ඉන්දියාව පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 108යි.
ශෆාලි වර්මා 32, හරමන්ප්‍රීට් කවුර් 29, ජෙමීමහ් රොද්‍රිගවුස් 23, ස්මි්‍රති මන්දනා 07, දීප්ති ශර්මා 07.
(ෆාතිමා සානා 23/2, ඔමයිමා සොහෙල් 17/1, සාදියා ඉක්බාල් 23/1)
සිසිර ඉන්ද්‍රජිත්