ඉන්දීය මහ මැතිවරණය අද ඇරැඹෙයි

123

අද සිට දින 44ක් ඡන්දය ප්‍රකාශ කිරීම ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට

ඡන්දදායකයෝ මිලියන 969ක්

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම අද (19දා) සිදු කෙරේ. ලෝකයේ දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙය බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.

18 වැනි ලෝක් සභාව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම සඳහා අදියර හතකින් පැවැත්වෙන මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බිලියන 1.44ක් වන සමස්ත ඉන්දීය ජනගහනයෙන් ලියාපදිංචි වී ඇති මුළු ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 969ක් වන අතර එම ඡන්ද දායකයන් අද සිට දින 44ක කාලයක් ඉලෙක්ට්‍රොනික ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍ර මිලියන 5.5ක් භාවිත කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසන 543කට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙවර මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2500කට අධික සංඛ්‍යාවකින් අපේක්ෂකයන් ඉදිරිපත් වී ඇතත් විසිරුවා හැර ඇති ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභා හි පවතින ආසන 543න් සියයට 86ක් ම දිනාගෙන ඇත්තේ පක්ෂ 10ක් විසින් වීම විශේෂත්වයකි. අදින් ඇරඹෙන ඉන්දීය මහ මැතිවරණයට පෙර ඉන්දියාවේ පැවති විශාලතම මහ මැතිවරණය ලෙස සැලකෙනුයේ 1951-52 කාලය තුළ පැවති මහ මැතිවරණයයි.

මෙවර ඉන්දීය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ වනුයේ වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගේ නායකත්වයෙන් යුත් භාරතිය ජනතා පක්ෂය (බීජේපී), විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ පක්ෂ 26කින් සමන්විත ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය (ඉන්ඩියා) ආම් ආද්මි පක්ෂය (ආප්), ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) පක්ෂය හා සමස්ත ඉන්දීය ට්‍රයිනමුල් කොංග්‍රස් පක්ෂය යන පක්ෂයි. මෙවර මහ මැතිවරණයේදී තරග වදින වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි තෙවැනි වරටත් අගමැති ධුරයට පත් වීමේ අපේක්ෂාවෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. අද පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරය යටතේ මැතිවරණ කොට්ඨාස හා යුනියන් කලාප 21ක් තුළ ඡන්ද විමසීම පැවැත්වේ. ලබන ජුනි මස පළමුවැනිදා තෙක් පැවැත්වෙන ඉන්දීය මැතිවරණයේ ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ජුනි 04 වැනිදාය. මේ අතර මෙවර මැතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති වයස අවුරුදු 85ට වැඩි හා සියයට 40කට වැඩි ආබාධිත තත්ත්වයෙන් පසුවන ඡන්දදායකයන් සඳහා නිවසේ සිට ඡන්දය භාවිත කිරීමට පහසුකම් සැලසීමට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය විසින් කටයුතු යොදා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment