උතුරේ අර්බුදය, යුද අපරාධ පිළිබඳ විමර්ෂණ, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරට පෙඩරල් පාලනයක් ලබාදීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලු බලතල ලබාදීම යන්න කාලාන්තරයක් තිස්සේ උතුරේ දේශපාලන බලවේග, දකුණු ඉන්දීය දේශපාලන බලවේග මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ඉහළම සටන් පාඨය විය. මේ සටන් පාඨ හමුවේ මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ හා සංවිධාන රැසක් අසරණභාවයට මෙන්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයන්ටද මුහුණ දෙන්නට විය.

දෙමළ ජාතික සන්ධානය යනු හුදෙක්ම ඉහත සටන් පාඨයන් තුළින්ම ජීවත්වන ඒ තුළින්ම ආදායම් උපයන දේශපාලන බලවේගයකි. එනිසාම ඔවුන්ගේ ඉතිහාසයේ කිසිදිනෙක කිසිදු මැතිවරණයක දී කිසිදු දේශපාලන පක්ෂයකට හෝ දකුණේ දේශපාලනඥයකුට සහය දුන්නේ නැත. ඊට ප්‍රධානම හේතුව වූයේ දෙමළ ජාතික සන්ධානයේ වෙනම රාජ්‍යයකට සමාන වූ ඉල්ලීම්වලට එකඟතාව පළකිරීමට එම දේශපාලනඥයන් අනුකූල නොවීම බව ප්‍රසිද්ධ රහසකි. යම් හෙයකින් දෙමළ ජාතික සන්ධානය එකඟ වුවත් දෙමළ ඩයස්පෝරාවේ තර්ජන හමුවේ එම එකඟතාවයෙන් ඉවත්වීමට සිදුවනු ඇත. අනෙක් අතට අප මෙතෙක් දුටු උතුරේ දේශපාලනය දකුණේ දේශපාලන බලවේග හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. වැඩි වශයෙන් ඔවුන් සිදුකර ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රතික්ෂේප කරමින් ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස උතුරුකරයේ ජනතාවට බලපෑම් කිරීමය.

එය එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවැති හමුවේ “ඡන්දය දෙන අයට දඬුවම මරණය” යැයි තර්ජනය කරමින් ජනතාවගෙන් පළිගැනීමය. වරක් පැවැති මැතිවරණයක දී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තර්ජනයට නොබියව ඡන්දය ප්‍රකාශ කළ පුරවැසියකුගේ අත වෙන්වන්නට කපාදැමීමේ සිද්ධියක්ද වාර්තා විය. එවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශය ලෙස 2001 වසරේ දී ආරම්භ කරන ලද දෙමළ ජාතික සන්ධානය එම ප්‍රතිපත්තිය පසෙකලා ඉතිහාසයේ පළමුවතාවට පසුගිය ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමටත්, එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාතේ පැවැති රැළිවල දී ඔහුට සහය දක්වමින් වේදිකාවට ගොඩවී මෙම අපේක්ෂකයාට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටීමත් සැවොම පුදුමයට පත් කරන්නක් විය.

මෙවන් තීරණයක් දෙමළ ජාතික සන්ධානයට තනිවම ගත නොහැකිය. හුදෙක්ම දෙමළ ජාතික සන්ධානය යනු තවත් සංවිධාන හා ජාත්‍යන්තර දේශපාලන බලවේගයන්ගේ රූකඩයක් පමණි. දෙමළ ජාතික සන්ධානය පසුපස දෙමළ ඩයස්පෝරාව, යුරෝපීය රටවල ක්‍රියාත්මක දෙමළ විප්ලවවාදී සංවිධාන මෙන්ම තමිල්නාඩුවේ දෙමළ දේශපාලන පක්ෂ රැසක් සිටිති. එම සියලු දේශපාලන බලවේගවල එකඟතාවයකින් තොරව දෙමළ ජාතික සන්ධානයට මෙවන් තනි තීරණයක් ගත නොහැකිය. එවන් පසුබිමක් තුළ සමගි ජනබලවේගය දෙමළ ජාතික සන්ධානය තම දෙසට හරවා ගත්තේ කෙසේද යන්නත් ප්‍රහේළිකාවකි.

මෙවන් පසුබිමක් තුළ නව ජනාධිපති අනුර කුමාර දිසානායකට ද උතුරු නැගෙනහිර අභියෝගයට මුහුණ දෙන්නට නිරන්තරයෙන්ම සිදුවනු ඇත. දෙමළ ජාතික සන්ධානයේ වෙනම රාජ්‍යයකට සමාන වූ ඉල්ලීම් හමුවේ ජනතා අභිලාෂයන් වෙන්කරගත යුතුව ඇත. දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ විදේශීය සංවිධානවල බලපෑම් හමුවේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝගයන්ට මුහුණදීමේ ක්‍රමෝපායක් හඳුනාගැනීමට සිදුවනු ඇත. එම සංවිධාන හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය එල්ලකරන ප්‍රහාරයන් හමුවේ ඊට ප්‍රතිචාර දැක්වීමට ශක්තිමත් හඬක් උතුරු නැගෙනහිර ජනතාව තුළින්ම නිර්මාණය කරගත යුතුය.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට උතුරු නැගෙනහිර පිළිබඳ මුල්ම අභියෝගය එල්ල වන්නේ ඉන්දියාවෙනි. ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් පෙරේදා (04දා) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. එය විදේශීය රටක විදේශ ප්‍රධාන නියෝජිතයකුගේ පළමු සංචාරය වනු ඇත. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන සුබ්‍රමනියම් ජයශංකර් විදේශ ඇමැතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සංචාරයට පෙර ඉන්දීය පාට්ටාලි මක්කල් කච්චි පක්ෂයේ නායක එස්. රාමදාස් යුද අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ අලුතින් පිහිටුවන ලද රජයට බල කළ යුතු බවද ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සිදුකරන මෙම සංචාරය ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවට ප්‍රයෝජනවත් සහ සවිබල ගැන්වීමක් විය යුතු බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් රාමදාස් සිය එක්ස් පිටුවෙන් විස්තර කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වී වසර පහළොවක් ගතවී ඇතත්, එහි සිදු වූ සාහසික යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු කිසිවකුට තවමත් දඬුවම් ලැබී නැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව දෙමළ ජනතාව සවිබල ගැන්විය යුතු බවට ඉන්දියාව කළ බලපෑම්වලින් පවා පලක් අත් වී නැත. එවන් පසුබිමක ශ්‍රී ලංකාවට යන ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් එහිදී ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් එ. ජා. මානව හිමිකම් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවට අවධාරනය කළ යුතුය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට පොරොන්දු වූ බලය බෙදීම ඉතා අවම වූ අතර එය වසර 35ක් යනතුරුත් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පසුවෙයි. වසර 35කට වැඩි කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළ නිර්පාක්ෂික නව පක්ෂයක නායකයෙක් බලයට පත්ව ඇති මොහොතක උතුරු – නැගෙනහිර පළාත්වල දෙමළ බහුතරයක් ජීවත්වන ප්‍රදේශවල සිංහල ජනතාවගේ සංක්‍රමණය නතර කළ යුතුය, දෙකට බෙදන ලද උතුරු, නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කර පළාත් මැතිවරණය පවත්වන ලෙස අමාත්‍ය ජයශංකර් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිය යුතු බවත් රාමදාස් අවධාරණය කර ඇත. තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බවත් අද වන විට තමිල්නාඩු ධීවරයන් 162 දෙනකු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා බන්ධනාගාරවල රඳවා ඇති බවත් ඔවුන් සියලු දෙනා නිදහස් කරන ලෙසත් ධීවර ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවන ලෙසත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙස විදේශ අමාත්‍ය ජයශංකර් ට රාමදාස් අවධාරනය කර ඇත.

මේ ගැටලුව පිළිබඳ නිශ්චල තීන්දුවකට අවතීර්ණය වීමේ අභියෝගයක්ද අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇත. මෙතෙක් පැවැති රජයන් උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් සිදුකරන ලද පොරොන්දු දේශපාලනය මත මෙම ගැටලුව අදත් විවිධ පාර්ශ්ව බලපෑම් කරන තැනට ඇද දමා ඇත. කෙසේ වෙතත් මෙම අර්බුදය කෙරෙහි වෙනම මාර්ගයක් ඔස්සේ විසඳුම් සෙවීමට නව ජනාධිපතිවරයාට සිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇත.

ටී. චන්ද්‍රසේකර


advertistmentadvertistment