ඉන්දු – පාකිස්තාන යුද ලකුණු පහළ වෙද්දී චීනයෙන් පකිස්තානයට මිසයිල තොගයක්

144

වසා දමා තිබෙන ඉන්දු – පකිස්ථාන දේශ සීමාවේ ඉන්දීය හා පාකිස්ථාන හමුදාවන් අතර සුළු ගිනි අවි යොදාගෙන සිදු කරන වෙඩි හුවමාරු කරගැනීම් දිගින් දිගටම සිදු වෙමින් පැවතියදී චීනයේ නිෂ්පාදිත පී එල් – 15 වර්ගයේ නවතම ගුවනට විදින මිසයිල තොගයක් පාකිස්ථාන ගුවන් හමුදාව වෙත ලැබී ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ‘ඉයුරේසියන් ටයිම්ස්’ පුවත්පතට අනුව පාකිස්ථාන ගුවන් හමුදාව වෙත ලැබී ඇති චීන මිසයිල තොගය චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් හමුදාව විසින් ඍජුවම සපයා දී තිබෙන අතර එම මිසයිල අපනයනය කෙරෙන මොඩලයට අයත් මිසයිල නොවන බව අනාවරණය වී තිබේ.

ඉන්දියාව හා පකිස්ථානය අතර යුද්ධයක් ඇති වීමේ අවදානමක් හටගෙන ඇති මොහොතකදී චීනය විසින් අදාළ මිසයිල තොගය කඩිනමින් සපයා දී ඇති බව වාර්තා වී තිබේ. සපයා ඇති චීන මිසයිල යොදාගෙන පාකිස්ථාන ගුවන් හමුදා නියමුවන්ට දුර සිට සිය විරුද්ධවාදී ගුවන් යානා වෙත ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව උදාවන බව යුද විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මේ අතර ඉන්දු – පාකිස්ථාන දේශ සීමාවේ සිට සිවුවැනි දිනයටත් සුළු අවි යොදා ගනිමින් ඉන්දීය හමුදාව වෙත වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පාකිස්ථාන හමුදාව ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය උල්ලංගනය කර ඇති බව ඉන්දියාව විසින් චෝදනා කර තිබේ. මේ අතර ඉන්දීය ආරක්ෂක හමුදාවන් විසින් කාශ්මීරයේ ත්‍රස්තවාදීන්ගේ නිවාස ගොඩනැගිලි 10ක් පුපුරවා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.


advertistmentadvertistment