ඉසිපතන සහ ශාන්ත ජෝශප් සටනින් තෙවැනි සතිය ඇරැඹේ

156

පාසල් ලීග් 19 න් පහළ රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ඩයලොග් පාසල් ලීග් ශුරතා අවුරුදු 19 න් පහළ රග්බි තරගාවලියේ ප්‍රමුඛ පෙළ සටනේ තෙවන සතිය හෙට (30 වැනිදා) ආරම්භ කෙරේ.

පසුගිය දෙසතිය තුළ අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වූ කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව එක් තරගයක් ජය ගෙන සිටින කොළඹ ශාන්ත ජෝශප් විදුහල හෙට ප.ව. 04.15 ට තරග වදින අතර තවත් තරග 04 ක් සෙනසුරාදා (01) පස්වරුවේ පැවැත්වේ.

ඉරිදා (02) ශාන්ත ජෝශප් සහ ඩී.එස්.සේනානායක දෙවිදුහල් අතර තරගය ක්‍රියාත්මක කෙරේ.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ඉසිපතන විදුහල (ලකුණු 12) සමත්වන අතර වාරයේ දී මහනුවර ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ (ලකුණු 06) දෙවන ස්ථානයේ පසු වෙති.

තියුණු තරගකාරිත්වයක් නිර්මාණය වී තිබෙන ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට කොළඹ රාජකීය විදුහල (ලකුණු 07) සමත්ව සිටී. මහනුවර ධර්මරාජ (ලකුණු 06), මහනුවර විද්‍යාර්ථ (ලකුණු 06) සහ මහනුවර ත්‍රිත්ව (ලකුණු 06) විදුහල් එහි දෙවන ස්ථානයේ පසුවන්නේ සම ලකුණු ලබා ගනිමිනි.

මෙවර තරගාවලියට එක්ව සිටින කොළඹ වෙස්ලි, මහනුවර කිංග්ස්වුඩ් සහ ගල්කිස්ස විද්‍යා විදුහල් මුහුණ දුන් තරග සියල්ල පරාජය වූ අතර අනෙක් සෑම පාසලක් ම එක් ජයග්‍රහණයක් හෝ ලබා ගත්තේය.

මෙම සති අන්තයේ තරග සැලසුම

2023.06.30. (සිකුරාදා)

ඉසිපතන සහ ශාන්ත ජෝශප් අතර ලොන්ඩන් පෙදෙසේ සී.ආර්. පිටියේ දී

2023.07.01. (සෙනසුරාදා)

ගල්කිස්ස ශාන්ත තෝමස් සහ මහනුවර කිංග්ස්වුඩ් අතර ගල්කිස්ස ශාන්ත තෝමස් පිටියේ දී

ධර්මරාජ සහ ශාන්ත පීතර අතර බෝගම්බර පිටියේ දී

විද්‍යාර්ථ සහ රාජකීය අතර රීඩ් මාවත රාජකීය පිටියේ දී

විද්‍යා සහ සහිරා අතර සහිරා පිටියේ දී

2023.07.02. (ඉරිදා) ඩී.එස්. සේනානායක සහ වෙස්ලි අතර රීඩ් මාවත රාජකීය පිටියේ දී.
අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment