සමගි ජනබලවේගය සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර්
ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසුව පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීම මත මේ වන විට පවතින්නේ දේශපාලනයේ යම් නිහඬ තත්ත්වයකි. එහෙත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්විය යුතු බවට මත පළ වීමත් ඒ සඳහා දෙපාර්ශ්වය සාකච්ඡා පැවැත්වීම තුළ යම් දේශපාලන ප්‍රවණතාවයක් මතු වන බව මුලින් පෙනෙන්න තිබිණ. එහෙත් එම සාකච්ඡා ගඟට කැපූ ඉනි මෙන් අසාර්ථක වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ සජබ නව සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව පහත පරිදිය.
ප්‍රශ්නය — එජාපයේ පැරණි සාමාජිකයකු වූ ඔබ දිගින් දිගටම පරාදවෙන්න බෑ කියලා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වුවත් දැන් ඔහුට දෙවැනිවරටත් ජනාධිපතිවරණය පරාජයට පත්වෙන්න සිදුවුණා. ඒ පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?
පිළිතුර — අපි කරන්නේ ප්‍රතිපත්ති දේශපාලනයක්. අපිට රනිල් වික්‍රමසිංහ සමග පෞද්ගලික කෝන්තරයක් තිබුණේ නෑ. අපි 1994න් පසුව මේ රටේ මුල් පුටුවට අපේ පක්ෂයේ නායකයා ගේන්න බැරිවුණා. අපි 56 පැරදුනාම 60 මාර්තු දින්නා. 60 ජුලි පැරදුනහම 65දී අපි දින්නා. 70දී පැරදුනහම 77 අපි දින්නා. ඒත් 94න් පස්සේ අපිට දිනන්නම බැරිවුණා. ඒකට ප්‍රධානතම හේතුව වුණේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති කර දැමීම.
මම මුස්ලිම් ජාතිකයෙක් වුණත් ඒ කාලේ පක්ෂයේ තරුණ පෙරමුණේ ලේකම් වුණා. ශිෂ්‍ය පෙරමුණේ සභාපති වුණා. අන්තර් විශ්වවිiාල මණ්ඩලයේ සභාපති වුණා. අපි ඡන්දෙන් පත්වුණේ. නමුත් ඒවා සියල්ල අහෝසි කරලා පත් කිරීම්වලින් ඒවා කළා. අපි අන්ත දක්ෂිණාංෂික පක්ෂයක් නොවේ. අපි හිටියේ මැද මාවතකයි. නමුත් අන්තර්ජාතික දක්ෂිණාංශික පක්ෂයට රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂය ගෙනිහින් හේත්තු කළා. ඒකෙන් අපි ඒ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට වහල්වෙන්න අපට සිදු වුණා. අතීත නායකයන් ස්වාධීන ප්‍රතිපත්තිවලයි හිටියේ. ඩඩ්ලි, ජේආර් එහෙමයි.
අපි පක්ෂය තුළ අරගලයක් කළා ඒ මැද මාවතට පක්ෂය අවතීර්ණ කරන්න. ඒ අරගලය දිනන්න බැහැ කියලා හිතපු නායකයෝ හැට ගණනක් පක්ෂයෙන් අස්වෙලා ගියා. අපිට හිතාගන්න බෑ.
අපි ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් ගත්තා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ගමනක් යන්න. පසුගිය මහ මැතිවරණයේදී ජනතාව එය අනුමත කළා. පාක්ෂිකයන් කල්පනා කළා සැබෑ එජාපය මේකයි කියලා.
ප්‍රශ්නය — මේ ජනාධිපතිවරණය සජිත් ප්‍රේමදාස මහතාට දිනාගන්න තිබුණා කියන මතයකුත් තිබුණා. නමුත් සජිත් ෆේල් නේද?
පිළිතුර — මේ ජනාධිපතිවරණ පරාජය අපි දැක්කා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ නඩය සජිත් ප්‍රේමදාසගේ ගිණුමට දාන්න උත්සාහ කළා. නමුත් අපේ රටේ ආර්ථික පීඩනයක් තිබෙනවා. අරගලයෙන් යම් පණිවුඩයක් ලබා දුන්නා. පාලකයන් සම්බන්ධයෙන් ජනතා කලකිරීමක් තිබෙනවා. බැඳුම්කර ප්‍රශ්නය, හොර ගනුදෙනු, ආර්ථික අතින් සමබිමක් රටේ තිබුණේ නෑ. සම සැලකිලි වගේම දක්ෂයින්ට සලකන තත්ත්වයක් රටේ තිබුණේ නෑ. ඒ වෛරය තමයි ජනතාව පිට කළේ. ඒ අය අලුත් දේශපාලන සංස්කෘතියක් ඉල්ලුවා. ඒත් මාලිමාවේ අපේක්ෂකයා සියයට 50ක් ගත්තේත් නෑ. ජනතාව සම්පූර්ණ විශ්වාසයක් තියලාත් නෑ. ඒත් මේ ක්‍රමයට විරෝධය පළ කිරීමක් තමයි මේ කළේ. ඒ විරෝධයෙන් මාලිමාව ප්‍රයෝජන ගත්තා. සජිත්ට එරෙහිව විරෝධයක් පළ කළා නොවෙයි.
සජිත්ගේ විපක්ෂනායක ලෙස ක්‍රියා කිරීම බලන්න විශිෂ්ට වැඩ වාර්තාවක් තිබෙනවා. විපක්ෂ නායකවරු හැමදාම කළේ විවේචනයයි. නමුත් බලන්න සුහුරු පන්ති කාමර තුන්සිය අසූ ගණනක් දුන්නා. කොවිඩ් සමයේ බෙහෙත් ද්‍රව්‍ය ගෙනත් දුන්නා. රටේ නායකයා අභියෝග කළා පුළුවන් නම් බෙහෙත් ටික ගෙනත් දෙන්න කියලා. ඔහු ඒ අභියෝගය භාරගෙන අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දුන්නා. රාජ්‍ය නායකයාට කරන්න බැරිවුණු දේ විපක්ෂ නායක ලෙස ඔහු ඉටු කළා. ප්‍රජාතන්ත්‍රවාදී, මනුස්සකම් පිරි නායකයෙක් කියලා පෙන්නලා තිබෙනවා.
ප්‍රශ්නය— ඔහුට පසුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ලක්ෂ 55ක ඡන්දය මෙවර ලක්ෂ 43 ට බැස්සා. ඔබ කියන විශිෂ්ට වැඩ වාර්තාව ගැන ජනතාව සලකා බලා නෑ නේද?
පිළිතුර— ඔව්. මෙවර ඡන්ද ප්‍රකාශ කිරීමත් අඩුවෙලා. ජනාධිපතිවරයාට සියයට 50 ගන්නත් බැරිවුණා. අපේ සහ ඔහුගේ පරතරය ලක්ෂ 13යි. ඉන් මාලිමාවට ලක්ෂ 09ක් ලැබුණේ බස්නාහිර පළාතෙන්. සමාජ ජාලා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. බලන්න උතුරේ, නැගෙනහිර ඡන්ද අපිට ලැබුණා. ඒත් පසුබෑමක් තිබෙනවා. ඒ පසුබෑම පුද්ගලයා කෙරෙහි නොවෙයි මේ ක්‍රමය කෙරෙහි ඇති වූ එකක්. අරගලයෙන් එළියට ආ විරෝධය තමයි ප්‍රකාශ වුණේ.
අනෙක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ඉලක්කය වුණේ සජිත්ව පරාජය කරවීමයි. ඔහුට ඕනෑ වුණේ සජබයේ ඡන්ද පදනම වට්ටලා අනුර කුමාරට ඒ ඡන්ද ටික අරන් දෙන්නයි. රණසිංහ ප්‍රෙමදාසගේ පුතා කියන විරෝධය රනිල්ට තිබුණා. ඔහුට ඕනෑ තමන්ගේ පංතියේ අය මේ රටේ පැළ කර ගන්න. තමන්ගේ ගජ මිතුරන් ආරක්ෂා කර ගන්න.
ප්‍රශ්නය— අපි මේ කතා කළේ ජනතා මනාපයනේ. නමුත් ඔබේ පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතාත් සජිත්ට විරුද්ධ වුණානේ? පක්ෂයට විරුද්ධව නඩුත් දැම්මා.
පිළිතුර- — පුද්ගලයෝ එහාට මෙහිට පීලී පනින ඒවා එක්ක ජන පදනම වෙනස් වුණේ නෑ. ඔහු ලබපු ඡන්ද සංඛ්‍යාව ගැන කවුරුත් දන්නවානේ. මම කිව්වා වගේ විදේශීය සහ දේශීය ධනවත් බලවේග මේ පිටුපස සිටියා.
ප්‍රශ්නය- — ජනාධිපතිවරණ පරාජයත් සමගම මහ මැතිවරණයත් එනවා. ජයග්‍රහණ ගැන මොකක්ද තිබෙන විශ්වාසය?
පිළිතුර— මේ මහ මැතිවරණය ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. ජනාධිපතිවරයාට අපි සුභ පතනවා. අනෙක් පක්ෂවලට වඩා ඔහු ඡන්ද ලබා ගෙන තිබෙනවා. නමුත් මේ වගේ ආර්ථික පරිහානියක් ලබපු රටවල් ගොඩ ගිහින් තිබෙන්නේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක. ඒ කාලේ කිව්වේ අයිඑම්එෆ් එකත් එක්ක ගිහින් රටවල් ගොඩ ගියේ නෑ කියලායි. නමුත් දැන් සාකච්ඡා කරනවා. බලයේ වගකීම එනවිට තමයි එහි ගැඹුර දැනෙන්නේ. ලෝක ආර්ථික රටාවන් එක්ක ඈත්වෙලා විසඳුම් හොයන්න අපට ලේසි නෑ. බලන්න ජේවීපී නායකයෝ මැතිවරණයට පෙර ගිය රටවල් දෙස. කැනේඩියානු රටවල්වලට තමයි ගියේ. ජර්මනිය, එංගලන්තය, ඇමරිකාව, ජපානය වැනි වාමාංශික නොවන රටවල්වලටයි ගියේ. බලන්න ඔවුන් කිව්වේ ඕනෑතරම් සල්ලි හම්බ කරන්න. පෝසත් වෙන්න අපෙන් ඒකට බාධාවක් නෑ කියලායි. බලන්න ඒ සිතුම් පැතුම් වෙනස් වුණු හැටි. මම ප්‍රාර්ථනා කරනවා අනුර කුමාර දිසානායක ලංකාවේ ඩෙංෂියාවෝ පෙන්ග් වෙන්න ඕනා කියලා. චීනයත් එහෙමනේ. ලාභය කියන්නේ මාක්ස්වාදී න්‍යායන්ගේ පදනම. ධනපති පංතිය භංගවේවා කියන මූලික සිද්ධාන්තවලට පිටුපාලා ප්‍රායෝගික ගමන් මාර්ගයට චීනය ගියා. ඒ නිසා චීනය ආර්ථික අතින් පෙළහර පානවා. ඇමරිකාවටත් අභියෝග කරනවා. ඒ අය ඒක තේරුම් අරන් තිබෙනවා. ඒ වගේම මේ ඡන්දයේදී ජනතාව සංඥාවක් ලබා දී තිබෙනවා. නමුත් මහ මැතිවරණයේදී දූෂිතයන්ට දඬුවම් දීලා රට නිවැරදි මාවතකට යොමු කරවන්න ජනතාව බුද්ධිමත්ව කටයුතු කරයි. අපිට පුළුවන් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. අනුර දිසානායක මහතා දැන් වගකීම භාර අරගෙන නිසා මෙහි ගැඹුර දැනෙනවා ඇති. අපිට පුළුවන් ඔහු සමග එකට වැඩ කරන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම කියා තිබෙනවා වැඩි බලය දූෂණයට මාවතයි කියලා. ඒ නිසා ජනාධිපතිවරයා පත් වෙලා තිබෙන නිසා සජබයට ආණ්ඩුව දෙන්න. එවිට අධිපතිවාදයට කැපෙන මාර්ගය අවහිර වේවි. සිරිමාවෝ මැතිනියට, ජේආර්ට, මහින්දට, ගෝඨාභයට දුන්නු වැඩි බලයෙන් රටට වැඩක් වුණාද? ඒ නිසා නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක්, දැක්මක් ඇති සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ කණ්ඩායමට ආණ්ඩු බලය දෙන්න.
ප්‍රශ්නය- — ජනාධිපතිවරණයෙන් පසුව මතු වූ දේශපාලන මාතෘකාව තමයි. එජාපය සහ සජබය එකට එක් විය යුතුයි කියලා. ඒ සඳහා සාකච්ඡා පැවැත්වුණා. දැන් ඒ සාකච්ඡා අසාර්ථකද?
පිළිතුර- — ——-ඒ පිළිබඳව සම්පූර්ණ විස්තර දන්නේ මහ ලේකම්වරයායි. නමුත් මමත් මේ ගැන අවධානයෙන් හිටියා. මේ එක්වීම ගැන මමත් සතුටින් හිටියේ. අපේ මහගෙදර එක්ක එකතුවෙන්න ඕනා. එජාපයේ සෑහෙන පිරිසකට එක් වෙන්න උවමනාව තිබුණා. ඒ සාකච්ඡා ධනාත්මක තත්ත්වයකට ආවා. අපිට මුලින්ම කිව්වේ නායකයා ඉවත් වෙනවා කියලා. ඒ නිසා මේ වැඩේ හරියයි කියලා ධනාත්මක හැඟීමක් තිබුණා. ඒත් මේ සාකච්ඡාවලට අන්තිම මොහොතේ එජාප නායකත්වය ඉවත්වීමේ අදහස සහ ඒ එකඟත්වය බිඳවැටිලා තිබෙනවා. ඒ නිසා මේ සාකච්ඡාවල එතැනින් එහාට ධනාත්මක තත්ත්වයක් තිබුණේ නෑ. මේ මොහොතේ තිබෙන්නේ සෘණ උත්තරයක් තමයි. ඒ සාකච්ඡා බිඳ වැටුණා කියලා කියන්නේත් නෑ මම. සාකච්ඡා හොඳ තත්ත්වයක තිබුණා. අවසානයේදී වෙනත් ඉහළ මැදිහත්වීමක් ඇවිත් ඒ ගනු ලැබූ මූලික එකඟත්වයන් බිඳ වැටිලා තිබෙනවා. ඒක කනගාටුදායකයි.
ප්‍රශ්නය— සජබය සමග සම්බන්ධවීමට කැමැත්තෙන් සිටින එජාප නායකයන්ට සජබයෙන් ආරාධනයක් තිබෙනවාද?
පිළිතුර — ඩැහැගන්න අපේ බලාපොරොත්තුවක් නෑ. නමුත් දේශපාලනයේ ගමනක් තිබෙන්නේ සජබය තුළයි කියන දේ ඒ අයත් තේරුම් අරන් තිබෙනවා. එක්වීම සඳහා සාර්ථකව සාකච්ඡා කරගෙන ගියා. නමුත් අනවශ්‍ය මැදිහත්වීම නිසා අපි ප්‍රාර්ථනා කළ දේ නොවෙන තත්ත්වයකට පත්වී තිබෙනවා. මේ අන්තිම මොහොතේත් අපි ප්‍රාර්ථනා කරනවා ඒ අයට නුවණ පහළ වේවා කියලා.
එජාපය පැත්තෙන් ඒ සාකච්ඡාවලට සහභාගි වූ නායකයන්ට වඩා ඉහළම අය ඒ සාකච්ඡාවලට මැදිහත් වෙලා ඉදිරිපත් කළ කරුණු නිසා මූලික වටයන්වලදී ඇතිවූ එකඟතා බිඳ වැටුණා කියා මා දන්නවා.
සාකච්ඡා කළේ – අකිත පෙරේරා