ජාවා දූපතේ භූමිකම්පාව මියගිය ගණන කියන්න බැහැ – දැනට මරණ 162ක්

268

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව, රිච්ටර් මාපකයේ 5.6 ක් ලෙස සටහන් වූ භූමිකම්පාව බටහිර ජාවා හි සියන්ජුර් නගරයට කිලෝමීටර් 10 ක් (සැතපුම් 6 ක්) ඈතින් වූ ප්‍රදේශයේ ඇතිවී තිබේ. මේ වන විට මියගිය පුද්ගලයින්ගේ නිශ්චිත සංඛ්‍යාව අපැහැදිලි ය. ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසා ඇත්තේ ඔවුන්ගේ නිල මරණ සංඛ්‍යාව 62 ක් වන අතර, ප්‍රාදේශීය ආණ්ඩුකාර රිඩ්වාන් කමිල් විසින් ලබා දුන් තොරතුරු අනුව පුද්ගලයින් 162 මරණයට පත්ව තිබේ. භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ වන අතර දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස සුන්බුන් බවට පත්ව ඇත.

ජාවා දූපතේ භූමිකම්පාව මියගිය ගණන කියන්න බැහැ - දැනට මරණ 162ක්

ආණ්ඩුකාර රිඩ්වාන් කමිල් මහතා පැවසුවේ භූමිකම්පාවෙන් පුද්ගලයන් 326 ක් පමණ තුවාල ලබා ඇති බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නිවෙස් හා ගොඩනැගිලි වලට යටවීම නිසා අස්ථි බිඳීම්වලට ලක්ව බවයි. නමුත් සමහර නිවැසියන් “හුදකලා ස්ථානවල සිරවී සිටින” බවත් තුවාල වූවන් සහ මරණ සංඛ්‍යාව කාලයත් සමඟ ඉහළ යනු ඇතැයි ඔහු කියයි. භූමිකම්පාවෙන් නිවාස 2,200 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර 13,000 කට වැඩි පිරිසක් ආපදාවෙන් අවතැන් වී ඇති බවත් හෙළිව තිබේ. සියන්ජුර් නගරයේ පරිපාලන ප්‍රධානී හර්මන් සුහර්මන් පැවසුවේ බොහෝ දෙනෙක් ගොඩනැගිලිවල සුන්බුන්වලට සිරවී සිටින අතර “ගිලන් රථ ගම්මානවල සිට රෝහලට නොනවත්වාම එනවා,” යනුවෙනි. මේ භූ කම්පනය කිලෝමීටර් 100 ක් පමණ දුරින් පිහිටි ජකර්තා අගනුවරට ද දැනිය හැකි අතර එනිසා උස් ගොඩනැගිලිවලින් මිනිසුන් ඉවත් කර ඇත.

පෙරේදා බටහිර ඉන්දුනීසියානු වේලාවෙන් සවස 1:21 ට ආරම්භ වූ කම්පනය අතරතුර කාර්යාල සේවකයින් තමන් සේවය කළ ගොඩනැගිලිවලින් පිටතට දිව ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි. “මම වැඩ කරමින් ඉන්න වෙලාවේ පොළොව දෙදරන්න ගත්තා ඒ වෙව්ලීම මට පැහැදිලිව දැනුණා. ඒ ගැස්සීම ටික වේලාවක් පැවතුනා නීතිඥ මයාඩිතා වලුයෝ ප්‍රංශ පුවත්සේවය හමුවේ ප්‍රකාශ කර තිබිණි. අහමඩ් රිඩ්වාන් නම් කාර්යාල සේවකයෙකු රොයිටර් වෙත පවසා තිබුණේ “අපි ජකර්තාහි මෙම භූමිකම්පා අත්දැකීම්වලට පුරුදු වී සිටි නමුත් අද මිනිස්සු බොහෝ කලබලයට පත්වූ නිසා තමන් ද භීතියට පත්වූ බවය. ඉන්දුනීසියානු රතු කුරුස සංවිධානයේ ස්වෙච්ඡා සේවිකාවක් වන ඉමා මෆාසා පැවසුවේ සවස් වන තුරුම කම්පන දිගටම පැවති බවයි. ඉන්දුනීසියානු රතු කුරුස සංවිධානය විසින් තුවාලකරුවන් වෙත ළඟා වීමට යතුරුපැදිවලින් හෙදියන් යවා තිබුණේ ප්‍රධාන නගරයේ සිට පැයක පමණ දුරකින් පිහිටි ප්‍රදේශ හතරකට වෙනත් ආකාරයකින් ප්‍රවේශ වීමේ මාර්ග අවහිර වී ඇති නිසාය. සියන්ජුර් ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන කම්කරුවකු වන හසන් පවසා තිබුණේ “භූමිකම්පාව වෙන කොට මගේ යාළුවෝ ගොඩනැගිල්ලෙන් පැනලා යන්න දුවනවා දැක්කා, ඒත් මට එළියට එන්න පරක්කු වුණා බිත්තියක් ඇඟට වැටුණා මට සිහිය නැතිවුණා.”

පැසිෆික් සාගරයේ භූගෝලීය ක්‍රියාකාරකම්වල “ගිනි වළල්ල” මත පිහිටා ඇති ඉන්දුනීසියාවේ භූමිකම්පා බහුලව දක්නට ලැබේ. 2018 සුලවේසි භූමිකම්පාවෙන් 2,000 කට වැඩි පිරිසක් මිය ගිය අතර, විනාශකාරී භූමිකම්පා සහ සුනාමි පිළිබඳ ඉතිහාසයක් රටට ඇත. 2004 දී ඉන්දියන් සාගරයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් සහ සුනාමියෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක 230,000 කට ආසන්න පිරිසක් මිය ගිය අතර ලක්ෂයකට අධික පිරිසක් මියගියේ ඉන්දුනීසියාවේ ය.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment