රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කරන්න ඉඩ දෙන්නේ නෑ

52

ජනපති එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ දී කියයි

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් කඩාවැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යෑමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වැනි සංවත්සර උත්සවයට පෙරේදා (07 දා) පස්වරුවේ එක් වෙමිනි.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත්, කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාලයට වසර 150ක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.

2021 උසස් පෙළ විභාගයේ දී විශිෂ්ටතා දැක්වූ විද්‍යාලයේ සිසුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර අනතුරුව ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද එක්විය.

විද්‍යාලයීය සිසුවෙකු විසින් නිර්මාණය කළ සමරු තිළිණයක්ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අපේ රටට නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව පවතිනවා. ඉදිරි වසර විස්සට, තිහට අදාළවන අයුරින් එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. නව තාක්ෂණය, කෘතිම බුද්ධිය, අධ්‍යාපන විෂය ධාරාවන්ට එක් කළ යුතුයි.

ඒ වගේම 1989 දී ඇසෝසියට් උපාධි ක්‍රමය (Associate degree) හඳුන්වා දුන්නා. නමුත් එවකට එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. මෙම උපාධි ක්‍රමය හඳුන්වා දුන්නේ රැකියා ඉලක්ක කර ගනිමිනුයි. එම ක්‍රමය නැවත හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාව ලෝකයට සරසවියක් විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයෙන් යට කරන්න ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එය වෙනස් නොකළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එය එක් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ වී තිබෙනවා.

උතුරුමැද පළාතේ හිටපු විපක්ෂනායක සහ සිද්ධාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා ද උත්සව සභාව ඇමතීය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන්ද, ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති ජනක හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තඹුත්තේගම – සී. එම්. ආරියපාල සහ එප්පාවල – තිසර සමල්

advertistmentadvertistment
advertistmentadvertistment