ඊශ්‍රායලයේ යුද ගැටුම් තාමත් ඇවිළෙයි – සංගීතයේ සිටි 260ක් මරති

748

මියගිය පිරිස 700 පනී
ශ්‍රී ලාංකිකයකුටත් වෙඩි වදී

හමාස් ත්‍රස්තයන් සෙනසුරාදා (7 දා) පෙරවරුවේ එල්ල කළ ප්‍රහාරයෙන් දකුණු ඊශ්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගිවෙමින් සිටි තරුණ තරුණියන් 260 ක් එම ස්ථානයේදී ම ඝාතනය වී තිබේ.

ඊශ්‍රායලයේ යුද ගැටුම් තාමත් ඇවිළෙයි - සංගීතයේ සිටි 260ක් මරති

තුවක්කුකරුවන් මේ තරුණ තරුණියන් පසුපස පන්නමින් වෙඩිතබා ඇත. සහන සේවකයන් විසින් තැන තැන විසිරී තිබූ මළ සිරුරු 260 ක් එකතු කරගෙන තිබේ.

හමාස් ප්‍රහාරකයන් තැන් 22 කින් ඊශ්‍රායලයට ඇතුළු වී ප්‍රහාර එල්ල කර ඇත.

ඊයේත් (9 දා) හමාස් ත්‍රස්ත කණ්ඩායම් හා ඊශ්‍රායල් ආරක්‍ෂක අංශ අතර ගැටුම් දකුණු දිග ඊශ්‍රායලයේ නගර කිහිපයක ඇවිළෙමින් තිබිණි. සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් නේපාල ජාතිකයන් දසදෙනකු ද ඝාතනයට ලක්වී ඇත.

ඊයේ වනවිට මේ ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල් වැසියන් සංඛ්‍යාව 700 ඉක්මවා තිබූ අතර තුවාල ලැබූ පිරිස දෙදහස ඉක්මවා තිබිණි.

සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදා විසින් ගුවන් ප්‍රහාර 800 කට වඩා ගාසා තීරය වෙත එල්ල කර ඇත.

හමාස් ත්‍රස්ත ප්‍රහාරකයන් විසින් පැහැරගෙන යනු ලැබූ ඊශ්‍රායල් හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් ප්‍රමාණය සියය ඉක්මවා තිබේ.

මෙම පිරිස බේරා ගැනීම වෙනුවෙන් වෙනම නිලධාරියෙක් පත් කිරීමට ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණයක් ගෙන ඇත.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ තමන් විසින් පැහැරගෙන ගාසා තීරයට ගෙනඑනු ලැබූ ඊශ්‍රායල වැසියන් සිරගත කර සිටින පලස්තීන සිරකරුවන් සමඟ හුවමාරුවට සූදානම් බවයි.

මේ අතර ගාසා තීරයට එරෙහි ආක්‍රමණය සඳහා ඊශ්‍රායල් භටයන් ලක්‍ෂයක් කැඳවා තිබේ. ගාසා තීරයට එල්ල වන ප්‍රහාර නිසා මියගිය පලස්තීන වැසියන් ප්‍රමාණය හාරසියය ඉක්මවා ඇත. එසේම ගාසා තිරයේ ලක්‍ෂයකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ.

මේ ගැටුම් හේතුවෙන් ලෝක තෙල් මිල මෙන්ම රන් මිල ද ඉහළ ගොස් ඇත.

ඊශ්‍රායල් – හමාස් ගැටුමේදී තවත් ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇත. මේ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට දැනුම් දී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment