පොලිස්පති පුටුව හිස් පොලිසියේ වැඩ අවුල්

171

පොලිස්පතිවරයාගේ සේවා කාලය ඊයේ (9 දා) අවසන් වීමෙන් පසු නව පොලිස්පතිවරයකු පත් නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඊයේ සිට විශ්‍රාම යෑමෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයා ලෙස නිලධාරියකු පත් කිරීමට වත්මන් රජය මාස 6 ක සිට අපොහොසත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඉකුත් මාර්තු මාසයේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය අතර නව පොලිස්පතිවරයකු පත් නොකර මාස 3 බැගින් අවස්ථා දෙකකදී ඒ මහතාට සේවා දීර්ඝ කිරීම් ලබාදී තිබිණි.

මේ ආකාරයට නිත්‍ය පොලිස්පතිවරයකු පත් නොකර තාවකාලික පොලිස්පතිවරු පත්කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනයට දැඩි බලපෑමක් එල්ල කරන බව ද පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු පොලිස්පති තනතුරට සුදුසුකම් ලබා සිටිති.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment