ඊශ්‍රායල – පලස්තීන යුද්ධයට ඇමෙරිකානු මැදිහත්වීම

177

මැදපෙරදිග ගාසා තීරය ඇමෙරිකාවට පවරා ගෙන එය සංවර්ධනය කිරීමට ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක යෝජනාව මේ වනවිට මතභේදයට තුඩු දී තිබේ. එහි වෙසෙන ජනතාව වෙනත් ස්ථානයක නැවත පංදිචි කරවීමේ ක්‍රියාවලියක් පිළිබඳවත් ඔහුගේ යෝජනාවේ ඇතුළත් ය. ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුරය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇති ආකාරයට මාස 15ක් පුරා පැවති සටන්වලින් එහි ගොඩනැගිලිවලින් තුනෙන් දෙකක් පමණ විනාශ වී හෝ හානි වී හෝ තිබේ.

මෙම අදහස අවධානය යොමුකළ යුතු යෝජනාවක් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළ ද, එය අරාබි රටවල් පමණක් නොව, ඇතැම් ඇමෙරිකානු මිත්‍ර රටවල් විසින් ද මුළුමනින් ම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ පවත්නා ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකභාවය මෙම ගැටුම විසඳීමට අපොහොසත්ව ඇතැයි යන්න ඇමෙරිකාවේ මෙම යෝජනාව මගින් හෙළිවන බව දේශපාලන විචාරකයන්ගේ අදහස යි.

දශක ගණනාවක් තිස්සේ වරින් වර හටගන්නා මෙම ගැටුම මෙවර ආරම්භ වූයේ, 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙනි. ඒ සමඟ ම ඇවිළුණු ගාසා තීරයේ යුද ගැටුම් මෙවර වෙන කවර කලකටත් වඩා බිහිසුණු තත්ත්වකට පත් වී ය.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දෙන්නේ යුද ගැටුම්වලින් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ට සුන්බුන් අතර දිවි ගෙවීම තේරුමක් නැති දෙයක් බව ය. ඔහුගේ අදහස වෙන්නේ ඒ සඳහා ගාසා තීරය යළි ගොඩනැගිය යුතු බව ය. එය දැවැන්ත කාර්යයක් බවට පත් වෙන්නේ පළමුව පුපුරා නොගිය බෝම්බ ආදිය මෙන් ම,

ගොඩගැසී ඇති සුන්බුන් කඳු ආදිය ඉවත් කළ යුතුව ඇති හෙයිනි. ඉන් අනතුරුව ජල නළ හා විදුලි රැහැන් අලුත්වැඩියා කිරීමත්, පාසල්, රෝහල්, කඩසාප්පු යළි ගොඩනැගීමත් සිදුකළ යුතු ය.

2008 වසරේ පැවැති ඊශ්‍රායල – ගාසා යුද ගැටුම්වල දී එකතු වූ සුන්බුන් ප්‍රමාණයට වඩා දාහත් ගුණයක සුන්බුන් ප්‍රමාණයක් මෙවර යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ගොඩගැසී ඇති බවට ගණන් බලා තිබේ. 2008 වසරේ ගැටුම්වලින් සුන්බුන් ටොන් ලක්ෂ 06ක් ගොඩගැසී තිබූ අතර, 2014 යුද ගැටුම් නතර වන විට එය ලක්ෂ 20 දක්වා ඉහළ ගියේ ය. 2021 යුද ගැටුම්වල දී එය 370,000 දක්වා අඩු වුව ද, පසුගිය ජනවාරි 01 වන දින දක්වා පැවැති මෙවර යුද ගැටුම් හේතුවෙන් එම ප්‍රමාණය සුන්බුන් ටොන් 50,773,496 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වුවද, මෙම සියලු සුන්බුන් ඉවත් කිරීමට වසර 21ක පමණ දීර්ඝ කාලයක් යා හැකි යැයි පවසන ඇමෙරිකාව පලස්තීනුවන්ට එම කාලය තුළ වෙනත් ස්ථානයක පදිංචියට යෑමට සිදුවනු ඇති බව පෙන්වා දෙයි. ඔවුන් සිය මාතෘභූමිය ආසන්නයේ තබාගැනීම වෙනුවට ස්ථිරව ම භූමියෙන් පිටව යෑම සඳහා ඔවුන් දිරිමත් කළ යුතු බව ට්‍රම්ප්ගේ අදහස යි. ටෙල් අවිව් නුවර පිහිටා තිබූ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යෑමටත්, ගෝලාන් කඳුකරය සම්බන්ධ ඊශ්‍රායලයේ ස්වෛරීභාවය පිළිගැනීමටත් සිය පළමු ධුර කාලයේ දී ක්‍රියාකරමින් ඇමෙරිකාවේ මැද පෙරදිග ප්‍රතිපත්තිය උඩුයටිකුරු කිරීම සඳහා කටයුතු කළ ජනාධිපතිවරයකු ලෙස ඔහුගේ මෙම යෝජනාව විස්මයජනක එකක් ලෙස සැලකේ.

ඊශ්‍රායල් – පලස්තීන ගැටුම විසඳීම සඳහා පලස්තීන භූමියෙන් කොටසක් අත්පත් කර ගැනීමටත්, ඒ සඳහා එහි වෙසෙන ජනතාව ඉන් ඉවත් කිරීමටත් මීට පෙර කිසිදු එක්සත් ජනපද ජනාධිපතිවරයකු කිසිවිටෙක සිතා නොතිබිණි. මෙය එකඟතාවකින් සිදුකළ නොහැකි වුවහොත්, ඒ සඳහා යොදවනු ලබන බලහත්කාරය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වනු ඇත.

මෙහි දී සමහර පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටවී ගොස් වෙනත් තැනක පදිංචි වී තම ජීවිත නැවත ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට බොහෝදුරට ඉඩ තිබේ. 2023 ඔක්තෝබර් මාසයේ සිට, මේ වනතෙක් 150,000ක් පමණ පලස්තීනුවන් එසේ සිදුකර ඇත. එහෙත්, එසේ කිරීමට මූල්‍යමය හැකියාවක් නොමැති අය මෙන්ම, පලස්තීනය ලෙස හඳුන්වන භූමියෙන් කොටසක් වන ගාසා තීරයට දැඩි බැඳීමක් ඇති අය ඒ සඳහා කැමැත්තක් නොදක්වති. එහෙත්, ට්‍රම්ප් විශ්වාස කරන්නේ, ඔවුන් නොමැති විට දහස් ගණනකට රැකියා ආයෝජන සඳහා අවස්ථා සහ අවසානයේ ලෝකයේ මිනිසුන්ට ජීවත් වීමට ලෝකයේ ස්ථානයක් සපයන ඇමෙරිකාවට අයත් Riviera of the Middle East ව්‍යාපෘතිය අළු අතරින් නැගීසිටිනු ඇති බව ය.

1948 වසරේ ඊශ්‍රායල රාජ්‍යය නිර්මාණය කිරීමේ දී ගාසා වැසියන්ගෙන් බොහෝදෙනකු තම නිවෙස්වලින් පලවා හරින ලද අතර, අද සිටින්නේ ඔවුන්ගෙන් පැවත එන්නෝ වෙති. ඔවුන් එම භීෂණ කාලපරිච්ඡේදය හඳුන්වන්නේ ‘ව්‍යසනය’ යන්න හැඳින්වීමට යෙදෙන ‘නක්බා’ යන අරාබි වචනයෙනි. එවන් තවත් ව්‍යසනයක් පිළිබඳ සිතිවිල්ල ඔවුන් බොහෝ දෙනෙකුට දරාගත නොහැකි තරම් වේදනාකාරී එකක් වනු ඇත. එසේ ම, තමන්ගේ ම රාජ්‍යයක් ගැන සිහින දකින පලස්තීනුවන්ට, එහි කොටසක් අහිමිවීම සිය අත් පා කපා දැමීමක් මෙන් දැනෙනු ඇත.

1948 සිට ම ගාසා තීරය බටහිර ඉවුරෙන් වෙන්ව පවතින අතර, කලින් පැවැති සාකච්ඡාවටවල දී මෙන් ම, 2020 වසරේ ට්‍රම්ප් ඉදිරිපත් කළ ‘සාමය සඳහා වූ දැක්ම’ (Vision for Peace) වැඩසටහන යටතේ ද ගාසා තීරය සහ බටහිර ඉවුර සම්බන්ධ කළ හැකි උමං මාර්ග හෝ දුම්රිය මාර්ග සඳහා වන සැලසුමක් ඇතුළත්ව තිබිණි. එහෙත්, මෙවර ට්‍රම්ප් මූලික වශයෙන් පලස්තීනුවන්ට පවසන්නේ, ගාසා තීරය සදහටම අත්හරින ලෙස ය.

ජාත්‍යන්තර නීතියට පටහැනිව යමින් සිවිල්වැසියන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීමක් ගැන ට්‍රම්ප් සඳහන් නොකළ ද, ඔහු පලස්තීනුවන්ට භූමියෙන් ඉවත්ව යෑමට දිරිගන්වමින් සිටින බව පැහැදිලිව ම පෙනෙන්නට තිබේ. ඒ අතර මිලියන 18ක් පමණ වන ගාසා සරණාගතයන් ඊජිප්තුව සහ ජෝර්දානය ඇතුළු අරාබි රටවල් භාරගත යුතු බවට ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආරාබි රටවල කෝපය පළ වී තිබේ.

එක්සත් ජනපදයට ගාසා තීරය සම්බන්ධයෙන් නීත්‍යනුකූල අයිතියක් නොමැති වුව ද, ට්‍රම්ප් එහි ඇමෙරිකානු පාලනයක් පැනවීමට අදහස් කරන්නේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැත. ට්‍රම්ප් එය සැබවින් ම සද්භාවයෙන් කරන්නට අදහස් කරන්නේ ද නැතහොත්, ගාසා තීරයේ අනාගතය පිළිබඳ කටුක සාකච්ඡා මාලාවකට පෙර විවෘත, අමුතු ආකාරයේ කේවල් කිරීමේ ස්ථාවරයක් ඔහු පෙන්නුම් කරන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.

ගාසා තීරයේ පශ්චාත් යුද සමයේ පාලන කටයුතු සම්බන්ධයෙන් මේ වනවිට විවිධ සැලසුම් සාකච්ඡා වී තිබේ. එහි සිටින ප්‍රධාන පලස්තීන කණ්ඩායම් දෙක වන හමාස් සහ ෆාටා, එහි පරිපාලනය අධීක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පසුගිය දෙසැම්බර් මාසයේ දී එකඟ වී ය. එහෙත්, එය මෙතෙක් සාර්ථක නොවූ එකඟතාවකි. තව ද, එම සාකච්ඡාවල දී අවධානය යොමු කර ඇත්තේ, ජාත්‍යන්තර සාම සාධක හමුදාවක් නිර්මාණය කිරීම කෙරෙහි වන අතර, එය බොහෝවිට අරාබි රටවලින් පැමිණි හමුදාවලින් සමන්විත වනු ඇත.

බටහිර ඉවුරේ සමහර ප්‍රදේශ මේ වනවිට පාලනය කරන්නේ පලස්තීන අධිකාරිය යි. ගාසා තීරයේ තාවකාලික පරිපාලනයක් පිහිටුවීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සාකච්ඡා ආරම්භ කළ බව පසුගිය මාසයේ රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය. ඒ, පශ්චාත් යුද්ධ සමයේ ගාසා තීරය පාලනය කිරීමේ දී පලස්තීන අධිකාරියට කිසිදු කාර්යභාරයක් නොමැති බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රසිද්ධියේ අවධාරණය කර තිබුණ පසුබිමක ය.

අනුර බී. සෙනෙවිරත්න


advertistmentadvertistment