මේ වනවිට රටේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ උණුසුම් කාලගුණයකි. ඒ අනුව පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 පමණ අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ අප බොහෝ දෙනා සිටින්නේ දැඩි පීඩාවකිනි. දිවා කාලයේ පමණක් නොව රාත්‍රී කාලයේ දී ද උණුසුම් කාලගුණයක් පැවැතීම නිසා වෙනදාට වඩා දහදිය දමන ප්‍රමාණය වැඩිය.
මෙම උණුසුම් කාලගුණය නිසා සමේ රතු පැහැති කුෂ්ට ඇතිවීම (Heat Rash) මස් පිඬු වේදනාව, මස් පිඬු පෙරළීම (Heat Cramp) සිරුරේ දැඩි වෙහෙසකර (Heat Exhaustද්‍යon) ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය.
එසේම අධික උණුසුම් පරිසරයේ වැඩි වේලාවක් නිරාවරණ වී සිටීම හෝ එම උණුසුම් පරිසරයේ ක්‍රීඩා කිරීම, ව්‍යායාමවල නිරත වීම, වෙහෙසකර කටයුතුවල නිරත වීම ආදිය නිසා තාප කම්පනය තත්ත්වයකට පත්වීම ද (Heat Stroke) සිදුවිය හැකිය.
මෙම උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවන පීඩාවනට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි අයවන්නේ කුඩා දරුවන්, වැඩිහිටියන්, හෘද
රෝගීන්, වකුගඩු රෝගීන්, දියවැඩියා රෝගීන්, පෙනහලු ආශ්‍රිත රෝගවලට ගොදුරුව සිටින්නන් වැනි අය ය.
නිරෝගී පුද්ගලයින් ද වැඩි වේලාවක් උණුසුම් කාලගුණය සහිත පරිසරයේ රැකියා කටයුතුවල නිරතව සිටීමෙන් ඉතා පහසුවෙන් වෙහෙසට පත්වීම, ආතතියට ලක්වීමට ගොදුරු විය හැකිය. එසේම මානසික ව්‍යාකූල තත්ත්වයට පත්වීම (Confused) සිය අවධානය නැති වී යෑම වැනි අපහසුතාවයනට ලක්විය හැකිය.
● තාප කම්පනය ලක්වීම (Heat Stroke)
උණුසුම් සහිත පරිසරයෙහි වැඩි වේලාවක් කටයුතු කිරීම නිසා (ව්‍යායාම කිරීම, ක්‍රීඩා කටයුතුවල යෙදීම, වෙහෙසකර රැකියාවල නිරත වීම) සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 103 ක පමණ (103 F0) අගයක් දක්වා ඉහළ යෑමකට ලක්විය හැකිය. එවිට අධික හිසරදය’, සම රතු පැහැවීම, වමනය යෑම, උගුර කට වේළීම, හෘද ස්පන්දනය වේගවත් වීම ආදී රෝග ලක්ෂණ මතු වී පසුව ක්ලාන්තයට පත්විය හැකිය. මෙහි දී වහාම සිරුර සිසිල් කිරීම සඳහා එම පුද්ගලයා ඇඳ සිටින ඇඳුම් ලිහිල් කිරීම, ඇල් ජලයෙන් සිරුර සිසිල් කිරීම ආදිය කළ යුතුය. සිහිය තිබේ නම් ඇල් ජලය ටිකක් පානයට දිය හැකිය. ශීත ජලය පානයට දීම නොකළ යුතුය. මෙම ප්‍රථමාධාර ලබාදෙන අතර එම තැනැත්තා වහාම රෝහලක් වෙත රැගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය.
● උණුසුම් කාලගුණයට මුහුණ දීම
පවතින උණුසුම් කාලගුණය නිසා ඇතිවන පීඩාවන් අවම කර ගැනීමට නිසි ලෙස ජලය පානය කළ යුතුය. එහිදී කාමර උෂ්ණත්වය සහිත මද උණුසුම් ජලය හෝ ඇල් ජලය පානය කළ හැකිය. උණුසුම් ජලය සහ ශීත ජලය පානය නොකළ යුතුය. උණුසුම් ජලය සහ ශීත ජලය පානය නිසා සිරුරේ උෂ්ණත්වය වෙනස් වීමකට ලක්විය හැකිය.
තද පැහැති ඇඳුම් පැළඳුම් වෙනුවට ළා පැහැති ඇඳුම් පැළඳුම් ඇදීම, සිසිල් ස්ථානවල කටයුතු කිරීම, උණුසුම් පරිසරයක රාජකාරි කරන්නේ නම් වැඩ මුරයට සේවය කරමින් අඩු කාලයක් එවැනි පරිසරයක රැඳි සිටීමට පියවර ගැනීම ආදිය කළ හැකිය.
සැහැල්ලු ඇඳුම් ඇඳීම, හිරු රැස් අධික වේලාවන්හි දී එළිමහනේ රාජකාරි කිරීමෙන් වැළකී සිටීම ආදිය මගින් මෙම උණුසුම් කාලගුණය හමුවේ ඇතිවිය හැකි අපහසුතාවලින් මිදිය හැකිය.
කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂණවේදය පිළිබඳ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂ වෛද්‍ය සනත් සේනානායක