ඉතිහාසයේ උරැමය රැකි යතිවර ගවේෂණය – 4
ශාස්ත්‍රවෙල පර්වතයෙන් ලිස්සල මුහුදට නොවැටී බේරුණේ අනූනවයෙන්…
මගේ ජීවිතයේ ලොකුම අනතුර වුණේ පුළුකුණාව කන්දේ දී…
සමහර පුරාවස්තු හිතාගන්න බැරි තරමට විශ්මිතයි…
විල්පත්තු කැලේ ඔච්චාපු කල්ලු ලෙන ජීවිතයේ දැකපු විශ්මිතම ලෙන…
විල්පත්තු කැලෑවත් නටබුන් තලාවක්…
“කඳවුරු බැඳගෙන, බංකර් හදාගෙන තිබුණු පුරාවිද්‍යා ස්ථානවලට තදබල හානි කරල තිබුණට උතුර – නැඟෙනහිර දෙපළාතේ සෑම පුරාවිද්‍යා ස්ථානයක්ම කොටි විනාශ කරල තිබුණේ නෑ. ඒත් මේ වෙනකොට උතුර – නැඟෙනහිර දෙපළාතේ හාරපු නැති නටබුන් සෑයක් හොයාගන්න නෑ. කොටි ත්‍රස්තවාදීන්, නිධන් හොරුන්, මුස්ලිම් අන්තවාදීන් පමණක් නොව, මේ රට යටත් කරගෙන සිටි පෘතුගිසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසි පාලන කාලවල ඉඳල උතුර – නැඟෙනහිර චෛත්‍ය හාරල පුරාවස්තු විනාශ කළා. උතුර – නැඟෙනහිර පළාත්වල පමණක් නෙමෙයි, මෙරට සෑම පළාතකම මහ වනමැද තියෙන චෛත්‍ය හාරල නිධන් කොල්ල කාලා විනාශ කරල තියෙන්නෙ. හාරපු නැති චෛත්‍යයක් සෙවීම කළුනික හොයනවට වඩා අපහසුයි. ඒ කොල්ලකෑම් කරන්නෙ නිධන් හොරු. ඒ හොරු හිතන්නෙ සල්ලි ගැන විතරයි…”
එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ පුරාවිද්‍යා ගවේෂණවලට අනුව වවුනියාවේ නන්දිමිත්‍රගම සහ ඒ අවට පුරාවස්තු බහුල ප්‍රදේශයකි. නන්දිමිත්‍රගම මහා පර්වතයෙන් එපිට පුලියන්කුලම ප්‍රදේශයේ ගල් ලෙන් එකසිය ගාණක් සහිත පුරාවෘත්ත ගම්මානයකි. එම ප්‍රදේශවලින් සොයාගෙන ඇති පුරාවස්තු ද විශ්මිත නිර්මාණ ය. පුරාවිද්‍යා පර්යේෂණ අතරතුර හමුවන ඇතැම් පුරාවස්තු පුදුම හිතෙන තරමේ විශ්මිත නිර්මාණ බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ පැවසූහ. විල්පත්තු මහ වන මැද ඔච්චාපු කල්ලු පුරාවිද්‍යා ස්ථානයේ පර්යේෂණ කටයුතු කරගෙන යනවිට හමු වූ ගල්ලෙන ජීවිතයේ හමු වූ විශ්මිතම ලෙන බව ද උන්වහන්සේ පැවසූහ. අලි සිව් දෙනෙක් තරම් විශාල ගල් පර්වතය පොළොවට සිට ඇත්තේ ශේෂයක් තරම් ගල් පතුරකිනි. ලෙන වටා කටාරම් කොටා, සෙල් ලිපියක් ද පිහිටුවා තිබේ. එම සෙල් ලිපියෙහි සටහන් ආකාරයට ‘ඔච්චාපු කල්ලු’ යනු ඔසවපු ගල ය. පසුගිය කාලයේ නැවත එම ස්ථානයට වැඩම කළ අවස්ථාවේ මහ ගල් පර්වතයට මුක්කුවක හැඩයට ගල් කණුවක් සවි කර තිබෙන අයුරු දුටු බව ද එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ පැවසූහ. සංචාරකයන්ට පෙන්විය යුත්තේ එවැනි විශ්මිත නිර්මාණය. එහෙත් එවැනි ස්ථාන අදාළ බලධාරීන් හෝ නොදැක තිබීම මහා අවාසනාවක් බව ද උන්වහන්සේ සිහිපත් කළහ.
“විල්පත්තු කැලෑවත් නටබුන් තලාවක්. මහ කැලෑව මැද මල්විල නමින් විශාල විලක් තිබිල තියෙනවා. ඒ විලේ ඉවුරෙ විශාල බෝසත් ප්‍රතිමාවක් තිබිල තියෙනවා. ඒ බෝසත් ප්‍රතිමාව නිර්මාණය කරල තියෙන්නේ මුහුදෙ එන යාත්‍රාවලට පෙනෙන ආකාරයට. මන්නාරමෙන් සොයාගත් ශිලා ලිපියකත් මල්විල ඉවුරෙ බෝසත් ප්‍රතිමාව ගැන සඳහන් වෙලා තිබුණා. කෝකිල සංදේශයෙත් සඳහන් වෙලා තියෙනවා. මම ඒ බෝසත් ප්‍රතිමාව සොයාගෙන විල්පත්තු අභය භූමියේ සංචාරය කළා. වෙරළෙ හිටපු ධීවරයන් කිහිපදෙනෙක් ගෙන් මල්විල පිළිමය ගැන විමසා බැලුවා. ඒත් විශ්වාස කළ හැකි තොරතුරක් ලැබුණෙ නෑ. වනසතුන් බහුල විල්පත්තු අභය භූමියේ සංචාරය කරන්නත් පහසු වුණේ නෑ. ඒ නිසා ගවේෂණ කටයුතු අතහැර දැම්මා. ඒත් මල්විල බෝසත් ප්‍රතිමාව ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිලි කළා. ‘මල්විල බෝසත් ප්‍රතිමාව සොයමු’ කියලා පුවත්පතක ලිපියක් පළ කළා. ඒත් කිසිම කෙනෙක් ගවේෂණ කටයුතු කරන්න ඉදිරිපත් වුණේ නෑ. ඒ ප්‍රතිමාව සොයාගෙන මල්විල ඉවුරෙ කෙළින් කළා නම් එය දැකබලා ගැනීමට විශාල සංචාරකයන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණෙනවා. ප්‍රතිමාව වන්දනා කරගැනීමට ලෝකය පුරා බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙනවා. ඒත් මේ රටේ පුරාවස්තු රටට සම්පතක් කරගැනීමට කිසිදු නායකයෙක් කටයුතු කළේ නෑ. අදටත් එහෙමයි…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ විරාමයකට කතාව නතර කළහ.
නැඟෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන අතර ශාස්ත්‍රවෙල විහාරය පිහිටි ඉසව්ව ද අති රමණීය පරිසර පද්ධතියකි. පොතුවිල් නගරයේ සිට පානම දෙසට වැටී ඇති මාර්ගයේ මුහුදට සමීපයෙහි පිහිටි තරමක කඳුගැටයකි. ගල්කුළු බහුල වැටියක් සේ පිහිටි මෙහි එක් පසෙකින් හැඩඔය ගලා ගොස් මුහුදට වැටේ. ශාස්ත්‍රවෙල විහාරයට කිහිපවතාවක් වැඩම කර ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ එම ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම ගැන පොතක් ද ලියා තිබේ. එමෙන්ම උන්වහන්සේ නැඟෙනහිර පළාතට වැඩම කර බොහෝ අවස්ථාවල ශාස්ත්‍රවෙලට වැඩම කිරීමට අමතක නොකළහ. පානදුරේ ප්‍රදේශයේ කිහිපදෙනෙක් සමග ශාස්ත්‍රවෙල වැඩම කළ අවස්ථාවක ගිහි පිරිසට රිසි සේ නැරඹීමට ඉඩ හැර ආරක්‍ෂක නිලධාරියා සමග මෙධානන්ද හාමුදුරුවෝ මුහුද අයිනේ පර්වතය අසල නටඹුන් බැලීමට වැඩම කර ඇත. පර්වතය මුදුනෙ චෛත්‍යයක නටබුන් සහ පහතින් ගල් ලෙනක් ද විය. ලෙන ඉදිරිපිට පර්වතය මුහුද දෙසට බෑවුම් වී තිබෙන නිසා අයිනෙන් ගමන් කිරීම අනතුරුදායකය. පය ලිස්සා ගියොත් වැටෙනුයේ මුහුදට ය. මුහුදු රළ පැමිණ පර්වතයට වදින හෙයින් සැඩ ගතිය මෙන්ම මුහුද ද ගැඹුරුය. එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ වෑයම ලෙනේ පින්තූර ගැනීමය. ඒ සඳහා ගල් බෑවුමේ අඩි කිහිපයක් යා යුතුමය. ඉලක්ක හඹා යෑමට ජීවිතය පරදුවට තබන මෙධානන්ද හාමුදුරුවෝ තණ පඳුරු අල්ලාගෙන ගල් බෑවුමේ පහළට රූටනවිට වැලක පැටලී බෑවුමේ ඇද වැටී තිබිණි. කුඩා පඳුරක අත්තක එල්ලී පහළට ලිස්සා යෑම ප්‍රමාද කරගෙන ක්‍ෂණයකින් තවත් පඳුරක එල්ලුණු උන්වහන්සේව ආරක්‍ෂක නිලධාරියා පහත් වී උරහිසින් අල්ලාගෙන තිබිණි. බෑවුමේ ලිස්සන සුළු ගතිය වැඩි බැවින් උන්වහන්සේ අල්ලාගෙන සිටීමට ආරක්‍ෂක නිලධාරියාට ද තරමක් අසීරු වී ඇත. එහෙත් සියලු ශක්තීන් මුදාහළ ආරක්‍ෂක නිලධාරියා විසින් උන්වහන්සේ අල්ලාගෙන සිට ඇත. අනතුරුව කැලෑ පඳුරුවල එල්ලී මෙධානන්ද හාමුදුරුවෝ දණ ගාමින් ගලේ බෑවුම අඩු පැත්තට ඇදී ගොස් ඇත. ජීවිත අවදානමෙන් මිඳුණු පසු උන්වහන්සේ නැඟිට, වෙන්නට ගිය අනතුර ගැන විපරම් කර ඇත. පර්වතයේ බෑවුම දෙසත්, මුහුද දෙසත් බලා සිටිනවිට සිදුවන්නට ගිය අනතුරේ බරපතළකම අවබෝධ වී, දෙපා වෙව්ළා හිටි තැනම උන්වහන්සේ හිඳගෙන ඇත. අතිශය පරිස්සමට පර්වතය බැස අසල පර්වතයට පා තබනවිට පාමුල සද්ධන්තයෙකි. එහෙත් අලියගෙන් කිසිදු හිරිහැරයක් වී නැත. හොඬවැල උස්සා නමස්කාරකොට අලියා කැලයට ගොස් ඇත. වෙන්න ගිය අනතුර ගමනෙ සෙසු පිරිසට පැවසූවිට ඇතැම්හු බියට පත්ව ඒ මොහොතේම එම ඉසව්වෙන් පිටමං වීමට පෙරත්ත කර තිබුණහ.
“පුළුකුණාවේදීත් ඔය වගේම සිද්ධියකට මුහුණ දෙන්න වුණා. අම්පාර දිසාවේ බක්කි ඇල්ලට ආසන්නයේ, මඩකලපු දිසාවට අයත්ව පිහිටි නටබුන් කන්දක්. අසූ ගණන්වල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී අරගලය මතු වෙමින් තිබුණු කාලේ එම පුරාවිද්‍යා ස්ථානය ගවේෂණය කිරීමට යන්න ඕන කියල හිතුණා. එවකට පියංගල ආරණ්‍යයේ වැඩ සිටි සුභූති හිමියන්ට දැනුම් දීලා ගමනට සූදානම් වුණා. ගවේෂණ චාරිකාවට දින යොදාගෙන පියංගලට වැඩියා. පුළුකුණාවේ ගමනට සුභූති හිමියන්, උහන පොලිසියේ රාලහාමිල දෙදෙනෙක්, බක්කි ඇල්ල ගමේ තවත් දෙදෙනෙක් සූදානම් වෙලා හිටියා. පියංගල ඉඳලා පුළුකුණාවට යන්න ප්‍රවාහන පහසුකම් තිබුණේ නෑ. අපි සියලුදෙනා පයින්ම ගමන් කළා. මඟ දිගට වනඅලි. එකෙක්, දෙන්නෙක් නෙමෙයි. මහ අලි රංචු, සද්ධන්තයන් මඟහැර, වෙනත් වනසතුන් ළඟින මහ කැලෑව මැදින් පුළුකුණාව කන්ද පාමුලට යෑම පහසු වුණේ නෑ. ඒත් කන්ද පාමුලට ගියවිට හිතත් පිරුණා. බිම් තැන්න ඈතට විහිදෙන නටබුන් තලාවක්. පැය ගාණක් ඒ පුරාවස්තු පරීක්‍ෂා කරමින්, සටහන් කරගෙන කන්ද මුදුනට ගමන් කළා. කැලෑ ගාල් අතරින් කන්ද තරණය කිරීමට විශාල සටනක් දෙන්න වුණා. අපහසුවෙන් උඩට යනකොට බිම් තැන්න තනිකර හේනක්. නටබුන් සෑය මත පැලක් අටවගෙන දෙමළ මනුස්සයෙක් හේන රකිනවා. දෙමළ මනුස්සයා සමග සුහද වෙලා හේන පුරා ඇවිඳිමින් පුරාවස්තු නිරීක්‍ෂණය කළා…”
“කන්දෙ තට්ටු තුනකට ගල් ලෙන්. ඉහළ තට්ටුව පරීක්‍ෂා කර, පුරාවස්තු සටහන් කරගෙන දෙවන තට්ටුවට බහින්න මඟක් සෙව්වා. කන්ද වටේ ට එරමිණිය ගාල නිසා ඇවිඳ යෑමට පහසු වුණේ නෑ. කටු ඇනිලා, ලේ හැලිලා මහ වධයක් විඳින්න වුණා. කටු ගොඩේ අසීරුවෙන් ඇවිද යනකොට තරමක ගල් පර්වතයක් දෙවන තට්ටුවට බෑවුම් වෙලා තියෙනවා මම දැක්කා. ඒ බෑවුම දිගේ අඩි 25, 30 ක් පහළට බහින්න පුළුවන් වුණොත් දෙවැනි තට්ටුවට පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්. ඒත් ගල් පර්වතයේ බෑවුම බහින්න පහසු නෑ. කොහොමහරි බහින්න ඕන කියල හිතාගෙන ඉහළින්, පහළට වැටුණු ලොකු වැලක එල්ලීගෙන ගලේ බෑවුම බහින්න සූදානම් වුණා. පියවර දෙකක් බහිනකොට එක පාරට ම ගල පල්ලට ලිස්සුවා. මාව අල්ලගන්න උඩින් හිටිය රාලහාමි පහළට පැන්නා. එයාවත් ඇවිත් මගෙ කර මතට වැටුණා. ගලේ ලිස්සාගෙන පහළට වැටෙනකොට කෝටු කෑලි, ගල් කෑලි ඇනිලා අත, පය හිල් වෙලා, ලෙලි ගිහින් තිබුණා. කන්ද උඩ හිටිය සියලු දෙනා පහළට රූටා ඇවිත් මගේ ඇඟේ ඇනිලා තිබුණු කෝටු කෑලි, ගල් කෑලි එකින් එක ඉවත් කළා. එක කකුලක කෝටු කෑල්ලක් ඇනිලා අඟල් දහයක විතර දිගට තුවාල වෙලා තිබුණා. ඉවසන්න බැරි තරමට දැවිල්ල දැනුණා. තුවාලවලට වතුර දාලා හෝදලා කොළ ටිකක් පොඩි කර ඒ කහට තුවාලවලට දාලා පැයක් විතර විවේක ගත්තා. ඒත් වේදනාව අඩු වුණේ නෑ. හිටි තැනින් නැඟිට ගන්නත් අපහසු වුණා. අසීරුවෙන් කන්දෙන් පහළට බැහැලා නවාතැනට ගිහින් එදා රෑ එතැන ඉඳල පහුවෙනිදා උදේම පන්සලට ආවා. මාසයකට වැඩි කාලයක් තුවාලවලට, තැල්මට වෙදකම් කරන්න වුණා. අවුරුදු හැට හතරක ගවේෂණ ජීවිතයේ වේදනාකාරීම අනතුර වුණේ එදා තමයි…”
එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ පවසන ආකාරයට කැබිතිගොල්ලෑව ගල් පොකුණ ආරණ්‍ය සේනාසනය ද පුරාවස්තු විසිරි ඇති ඓතිහාසික පුදබිමකි. එම පුදබිමට පිවිසුමේ මහ පර්වත පොකුණකි. ඒ අසල සෙල් ලිපියක් ද කොටා තිබේ. ගලේ පොකුණක් ඇති නිසා ‘ගල් පොකුණ’ නමින් හඳුන්වා තිබුණ ද ගල් කණුවක කොටා ඇති පියුමක් නිසා දැන් ‘ගල් පියුම’ ආරණ්‍ය සේනාසනය ලෙස හඳුන්වති. ගල් පියුම ආරණ්‍ය සේනාසනාධිපති සිදු කළ ආරාධනාවකට අනුව මෙධානන්ද හාමුදුරුවෝ පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා එම ආරණ්‍ය සේනාසනයට වැඩම කිරීමට තීරණ කළහ. කථිකා කරගත් දින උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරනවිට හැන්දෑ වී තිබූ නිසා පසු දින ගවේෂණ කටයුතු ආරම්භ කිරීමේ අදහසින් ගල්ලෙන් කුටියක නවාතැන් ගෙන තිබුණහ. ගල් පියුම ආරණ්‍ය සේනාසනාධිපති කුටියටම පැමිණ ලෙනේ දොර මොහොතකටවත් විවෘත කර නොතබන ලෙසට මෙධානන්ද නායක හාමුදුරුවන්ට උපදෙස් දී තිබුණහ. රාත්‍රී අටට පමණ ගිලන්පස රැගෙන පැමිණි උපාසක මහතාට ද කුටියේ දොර විවෘත නොකරන ලෙස උන්වහන්සේට පවසා තිබිණි.
කුටිය ඉදිරිපස සුදු වැලිතලාව සුපිරිසිදුය. වන මැද වුවද ගහක කොළයක්ව සුදු වැල්ලේ නැත. එමෙන්ම ලෙනේ ගලට යාව විශාල නුග රුකක් වැවී තිබූ නිසා පරිසරය බෙහෙවින්ම සිසිල්ය. ඝන අන්ධකාරයත් සමග අවට ගුප්ත බවකින් ද වේළී තිබිණි. කුටිය තුළ වූයේ බූරු ඇඳක්, වතුර පිරි ජෝග්ගුවක්, කොප්පයක්, ලන්තෑරුමක් පමණි. ලෙන තුළ හොඳින් පරීක්‍ෂා කළ මෙධානන්ද හාමුදුරුවෝ පසු දින හිමිදිරියේම ගවේෂණ කටයුතු ආරම්භ කිරීමේ අදහසින් බූරු ඇදේ ඇළ වී තිබුණහ. එහෙත් තුන් පැයක් ගත වනවිට උන්වහන්සේට එළියට යෑමට සිදු වී ඇත. රැලි වැටුණු මුහුණට සිනාවක් එක් කරගත් උන්වහන්සේ නැවත කතා කළහ.
“ලන්තෑරුම් එළියෙන් කුටිය තුළ හොඳින් ආලෝකවත් වෙලා තිබුණා. දොර විවෘත කරගෙන මම එළියට ගියා. විදුලි පන්දම දල්වා අවට විපරම් කරමින්, හනිකට මගේ අවශ්‍යතාවය ඉටු කරගෙන ලෙනට ඇවිත් දොර වහල බූරු ඇඳේ හාන්සි වුණා. එළියට යනකොට දොර වහගෙන යන්න අමතක වුණා. ඒ නිසා කෝකටත් කියල විදුලි පන්දම දල්වල නැවත ලෙන පරීක්‍ෂා කළා. බිත්තිය පාමුල ලොකු සර්පයෙක් ඇදෙනවා මට පෙණුනා. සතා බඩ ගාන්නෙ බූරු ඇඳ දිහාට. මට කර කියාගන්න දෙයක් නෑ. මම සතා දෙස බලා ඉන්නකොට ඌ සෙමෙන් බූරු ඇඳ දිහාට ඇඳෙනවා. ළං වෙනකොට සතා දෂ්ට කරයි කියල බයක් දැනුණා. මගේ හිතෙ බිය දැනෙනකොටම සර්පයත් ඔළුව උස්සගෙන කලබල වුණා. විදුලි පන්දමත් අරගෙන, දොර විවෘත කරගෙන මම එළියට පැනල ඉස්සරහා කණුවක එල්ලා තිබූ ගෙඩියට කිහිපවරක් ගැහුවා. ක්‍ෂණයෙන් ලන්තෑරුම් එළි දල්වාගෙන කිහිපදෙනෙක් කුටිය සමීපයට ආවා. විදුලි පන්දම් දල්වාගෙන ලෙන දොරකඩට වෙලා සෝදිසි කරද්දී, ඒ සතා බූරු ඇඳ යටින් ඇදෙමින් විවර වී තිබූ දොරටුවෙන් එළියට ඇවිත් නුග ගහට ඇදිලා ගියා. ඒ ඇදිල ගිය සර්පයා ‘මහ මාපිල් හබරෙක්’ කියල කැපකරු මහත්තයා කියනකොට මගේ ඇඟ හිරිවැටුණා…”
“ඒ මහ වනාන්තරයේ නයි, පොළොන්ගු, මාපිල් හබරයි දරුණු සර්පයන් නිතර සැරි සැරුව ද ආරණ්‍යයයේ සිටින අයට කිසිම දිනක කරදරයක් වෙලා නෑ. සිදුරු නොසිටින විදිහට කුටි සෙනසුන් හදලා තියෙන්නෙත් සර්පයන් ග්‍රහණය වැඩි නිසයි. පිරිස නැවත ගිය පසු ලෙන පරීක්‍ෂා කර තුණුරුවන් සිහි කරලා නිදාගෙන පහුවදා වැඩ පටන් ගත්තා. මහ වනමැද ඇවිදමින් දින දෙකක් පුරාවට ගවේෂණ කටයුතු කළා. ඒත් සර්පයෙක් ඇහැට දකින්න හිටියේ නෑ…
රිටිගල කන්දෙ දි, මෙධානන්ද හාමුදුරුවෝ ලේ මාපිල් හබයකට මැදි වෙයි…
ඉතිරි කොටස ලබන සතියට
තරංග රත්නවීර