උද්දික හා ඒ. එස්. පී. සංජීව සැලසුම් සහගතව බොරු වෙඩි තැබීමක් රඟලා – සී.අයි.ඩී. ය අධිකරණයට දන්වයි

496

වෙඩි තැබීමට යොදා ගත් පිස්තෝලය රස පරීක්‍ෂකට යවා වාර්තාවක් දෙන්න – අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සී.අයි.ඩී.යට නියෝග කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලය, රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ, මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද යන්නයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළේ සිය පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලැබුණු පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව සැකකාර පොලිස් අධිකාරී සංජීව මහානාම රාජකාරී පිස්තෝලය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති බව පවසමින්, එය පොලිස් අවි ගබඩාව වෙත භාරදී තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

කෙසේ වෙතත් මධ්‍යම අවි ගබඩාව සිදු කළ පරීක්ෂණයකදී තහවුරු වූයේ අදාළ ගිනි අවිය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවය.

හිටපු මන්ත්‍රී රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන දෙදෙනා සැලසුම් සහගතව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

සැකකාර පොලිස් අධිකාරීවරයා පසුගිය 12දා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බව, පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රාජකාරි ගිනිඅවි අන්සතු කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවය. මෙම කරුණු සියල්ල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැන්වීය.

පසුගිය 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 දා පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රථයට අනුරාධපුර පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි ප්‍රහාර එල්ල විය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment