උපයන විට බද්ද ලක්ෂයේ සිට ලක්ෂ එකහමාරට නංවනවා – ජනපති මැතිසබයේදී කියයි

190

අයිඑම්එෆ් සමග එකඟතාවෙන්

පෙබ.01දා සිට පෞද්ගලික පරිහරණයට වාහන ගෙන්වන්න අවසර

පරාටේ නීතිය මාර්තු 31 දා තෙක්

තවත් දීර්ඝ කෙරේ මූල්‍ය ආයතන පද්ධති කඩා වැටෙන්න දෙන්න බෑ

බැංකු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාවක්

පාසල් දරුවන්ට රු.6000ක මාසික දීමනාවක් අයවැයෙන්

අස්වැසුමට හැඳුනුම්පත හරස්වූ අයට හැඳුනුම්පතක් නොමැතිව බැංකු ගිණුමක් විවෘත කිරීමට කාලය දෙනවා

රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10%ක් දක්වා ඉහළට

උපයන විට බදු පැනවීමේ සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දහස දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව අඩු ආදායම් ලබා ගන්න අයට වැඩි සහනයකුත් වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් ලබා දීමට මේ සමාලෝචනයේදී සමත් වූ බව ඉන්දීය සංචාරය නිමවා යළි මෙරටට පැමිණි ජනාධිපතිවරයා කීය

උපයන විට බදු පැනවීමේ 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් ලක්ෂ එක හමාරක වැටුපක් ගන්නා කෙනකුගේ සීයට සීයක් බදු නිදහස් බවද කියා සිටියේය. ලක්ෂ දෙකක් වැටුපක් ගන්නා අයෙකුගේ බද්ද 71% කින් නිදහස් වන අතර ලක්ෂ දෙකමාරක් වැටුපක් ගන්නා කෙනකුගේ බද්ද 61%කින් ද, ලක්ෂ තුනක් වැටුපක් ගන්නා කෙනකුගේ බද්ද 47%කින් මෙන්ම ලක්ෂ තුනහමාරක වැටුපක් ලබන අයගේ බද්ද 25.5%කින් නිදහස් කළ බවද කීය.

මේ අතර ලබන වසරේ (2025) පෙබරවාරි 01 දා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවත් වාහන වෙළෙඳපොළ දීර්ඝකාලීනව වසාගෙන සිටීමේ හැකියාවක් නැති බවත් හෙතෙම කීය. ඒ අනුව කාණ්ඩ තුනකින් වාහන ආනයනයට අවසර දීමට රජය සැලසුම් කර ඇති බව ජනපතිවරයා පැවසීය.

ඊට අමතරව යෝගට් සහ කිරි නිෂ්පාදන එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කළ බවද ජනපතිවරයා කීය. ගොවීන් වෙත ලබා දෙනු ලබන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කළ අතර එම සහනාධාරය ප්‍රමාදයකින් තොරව ලබාදීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන් බව කියා සිටියේය.

මුදල් නොමැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර තිබෙනවා. එම දරුවන්ට රුපියල් 6000ක මාසික දීමනාවක් ලබා දෙමින් අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලබා දීමට ද බලාපොරොත්තු වන බව කීය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ නැති නිසා පරාටේ නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment