උසාවියට අපහාස කළැයි – ලෝගුව ගැලවූ හිටපු නීතිඥ යළි කූඩුවට

625

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටි සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති හිටපු නීතිඥවරයාගේ ඇප බැඳුම්කරය වහාම අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඊයේ (01දා) නියෝග කළේය.

එම නීතිඥවරයා ඇප ලබාදීමේදී අධිකරණය විසින් නියම කළ කොන්දේසි දිගින් දිගටම උල්ලංඝනය කරමින් අධිකරණයට හා විනිසුරුවරුන්ට අපහාස වන ආකාරයෙන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කර ඇති බව පවසමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විජිත් කේ. මලල්ගොඩ, ශිරාන් ගුණරත්න හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර අධිකරණය හමුවේ ගොනුකර ඇති බවත් එයට අමතරව වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ වෙනම නඩුවක් ගොනුකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පැවසීය.

වගඋත්තරකාර නීතිඥවරයාගේ ද එකඟතාවය ඇතිව එම නඩු දෙක ලබන ජනවාරි 16 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

අධිකරණයේ නියෝග නොතකා පසුගිය මාර්තු 20 වැනිදා අධිකරණය හමුවේ අදහස් දැක්වීම නිසා එම නීතිඥවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නියෝග කොට තිබූ අතර, සති තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හෙතෙම මින් මතු එවැනි වැරදි සිදුනොකරන බවට ලබාදුන් පොරොන්දුව අනුව තරයේ අවවාද කොට ඇප මත මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් නියෝග කොට තිබිණි.

වගඋත්තරකාර නීතිඥවරයා මාධ්‍ය හමුවේ කළ එකී ප්‍රකාශ ඇතුළත් හඬපට ද නීතිපතිවරයා විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුරේකා අහමඩ් මහත්මිය සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය.

එම නීතිඥවරයාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගය පවත්වා අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු 20 වැනිදා නියෝග කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment