මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පොළොව යට ඇති නිධානයක් සොයා ඊයේ (20දා) කැණීම් කටයුතු ආරම්භ කෙරිණි.
අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව මෙම කටයුත්ත සිදුකෙරිණි.
මෙහි නිධානයක් ඇති බව පවසමින් වසර ගණනාවක සිට අවස්ථා කීපයකදීම මෙම ස්ථානය නිධන් හොරුන් විසින් හාරා තිබිණි.
එසේම ආරක්‍ෂක අංශය ද අවස්ථා කීපයකදී නිධන් හෑරීම සඳහා භාවිත කළ උපකරණ සමග පුද්ගලයන් කීපදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට පත්වූවන් අතර හිමිනමක් ද සිටින බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
වගුරු සහිත බිමක පිහිටා ඇති මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්‍ෂණ කටයුතුවලදී මෙහි නිධානයක් නොමැති බවට තොරතුරු හෙළිවී තිබේ.
නමුත් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සිදුකරන ලද පරීක්‍ෂණයකදී අනාවරණය වී ඇත්තේ කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බවය.
ඒ අනුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පතල් හා භූවිද්‍යා කාර්යාංශය, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් හා මහජනතාවගේ සහභාගිත්වයෙන් මෙහි කැණීම් කටයුතු ඊයේ පස්වරුව වන විටත් සිදුකෙරෙමින් පැවතිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර