කන්ටේනර්වල ‘කැලෑ වදින’ බෙහෙත්වලට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඩොලර් මිලියන ගණන් ගෙවලා – සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය

50

රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ආනයනය කර, වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මේ වන තුරු නිසිලෙස භාර නොගෙන කැලණිය, වත්තල සහ වැලිසර බහාලුම් තුළ ගබඩා කර ඇති ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ කාණ්ඩ තොගයක් සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම ඖෂධ තොගය ගෙන්වනු ලැබ ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජයට මුදල් මුදාහැරීමෙන් අනතුරුව එම මුදල් හුවමාරුව සිදුව ඇතැයි ද සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමේදී ඖෂධ ප්‍රසම්පාදන යාන්ත්‍රණය තහවුරු වීමෙන් අනතුරුව ඉන්දියානු රජය එම ණය මුදල් මෙරට භාණ්ඩාගාරය හරහා බැංකු ගිණුම් වෙත නිදහස් කිරීමක් සිදුවන බැවින් එම ණය මුදල් ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවත්, මෙම ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකය භාර ගත්තත්, නොගත්තත් අදාළ ණය මුදල් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙන බවත් එම සන්ධානය කියයි.

අදාළ ඖෂධ බහාලුම්වල ඇති ‘මෙරපනම්’ නම් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලක් මහජන බැංකු ප්‍රධාන කාර්යාලය මගින් ඉන්දියානු එච්. එෆ්. සී. සී. බැංකුව වෙත ගෙවූ බවට නිකුත් කරන ලද ගෙවීම් වවුචරය ද මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇතැයි, ඉහත සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.

රටේ මේ මොහොතේ විශාල ඖෂධ හිඟයක් පැවතියදී වෛද්‍ය සැපයුම් ඒකකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අකාර්යක්‍ෂමව රටේ මුදල් දිගින් දිගටම අවභාවිතයේ යෙදවීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවත්, එබැවින් මේ පිළිබඳව වහාම මැදිහත්වීමක් සිදුකර විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් වෛද්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම දිගින් දිගටම කඩාවැටීමට ලක්ව තිබෙන මෙරට සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ වෛද්‍ය සැපයුම් වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහා එම ධුරවලින් ඉවත් කොට වගකීම් දැරිය හැකි නිලධාරීන් පත් කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment