උ. පෙළ ටියුෂන් හා ප්‍රචාරක කටයුතු අදින් පසු බැහැ

100

උසස් පෙළ (2022) විභාගය නිමිත්තෙන් අද (17දා) මධ්‍යම රාත්‍රි 12.00 සිට උසස් පෙළ (2022) විභාගය අවසන් වන තෙක් උ. පෙළ උපකාරක පන්ති ඇතුළු විභාගයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටී.

මේ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබාගැනීම තහනම් වේ.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශ්වයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් කළහොත් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානය හෝ පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ද ජයසුන්දර මහතා ඉල්ලා සිටී.

පොලිස් මූලස්ථානය 0112421111, පොලිස් හදිසි ඇමතුම් අංකය 119, විභාග කොමසාරිස් ජනරාල් කාර්යාලය 0112785211/0112785212 යන අංකවලට මේ අයථා කටයුතු පිළිබඳව දැනුම් දිය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment