හොර පාරෙන් ප්‍රංශයට යැවූ 46 ක් ගුවනින් යළි ලංකාවට එවයි

200

දෙහිවල ප්‍රදේශයේ මිනිස් ජාවාරම්කරුවකු විසින් රුපියල් ලක්ෂ 20, 45 ලෙස මුදල් ලබාගෙන මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට යැවූ ශ්‍රී ලාංකිකයන් 46 දෙනකු ගුවන් මගින් නැවත මෙරටට පිටුවහල් කිරීමට ප්‍රංශ බලධාරීන් කටයුතු කර තිබේ.

මෙම පිරිස යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 13 ත් 53 ත් අතර වයසේ පසු වන පුද්ගලයන් බව හෙළි වී තිබේ. මොවුන් අතර පිරිමි 43 ක්, කාන්තාවෝ 02 ක් සහ පිරිමි ළමයෙක් වෙති.

මෙම පිරිස ඉකුත් දෙසැම්බර් 2 දා මීගමුව ප්‍රදේශයෙන් IMUL-A-0559 CHW දරණ බහුදින යාත්‍රාවෙන් පිටත්ව ගොස් නීති විරෝධීව ප්‍රංශයේ රී-යුනියන් දූපතට සංක්‍රමණය වීමට උත්සාහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම පිරිස ජනවාරි 13 වැනිදා ගුවන් මගින් මෙරටට පැමිණීමෙන් පසු නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කටයුතු කරන මෙවැනි මිනිස් ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස ද, ප්‍රංශ රජය විසින් රී-යුනියන් දූපත වෙත කිසිවෙක් ඇතුළු කර නොගන්නා බව ද නාවික හමුදාව මහජනතාවට දැනුම් දෙයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment