ඔක්තෝබරයේ සිට වාහන ගෙන්වීමට අවසර

230

ලබන ඔක්තෝබර් මාසයේ සිට කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ක්‍රමානුකූලව වාහන ආනයනයට යළි අවසර ලබාදීම යටතේ මේ තීරණය ගෙන ඇත.

මේ පියවර ගනු ලබන්නේ ලබන වසර මුලදී වාහන ආනයනයට යළි අවසර ලබාදීමේ එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා වූ පූර්ව යෝජනාවක් වශයෙන් බවද ‘දිවයින’ ට වාර්තා වේ.

කාර්මික හා බර වාහන ආනයනය සඳහා අවසර ලබාදීමෙන් පසු ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනය සඳහා ඉඩ ලබාදෙනු ඇති බව ද දැන ගන්නට ඇත.

ක්‍රමානුකූලව වාහන ආනයනයට යළි ඉඩ ලබාදීම යටතේ අවසර ලබාදෙන මීළඟ වාහන කාණ්ඩය වනු ඇත්තේ කුඩා මෝටර් රථ බවත් එසේම සුඛෝපභෝගී සහ අධිසුඛෝපබෝගී වාහන කාණ්ඩවලට අවසර දෙනු ලබන්නේ අවසාන වශයෙන් බවද රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් පැවසේ.

රටේ විදේශ සංචිතයට අනුව වසරක් තුළ ආනයනය කළ යුතු උපරිම වාහන සංඛ්‍යාව පිළිබඳ රජය විසින් මහ බැංකුවේ උපදෙස් ලබාගැනීමට නියමිත බව ද දැන ගන්නට ඇත.

කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ සේවකයන්ට තීරුබදු රහිත යෝජනා ක්‍රම යටතේ වාහන ආනයනය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජය වහාම සළකා බලනු නොලබන බව වාර්තා වේ.

මෙහිදී සලකා බලන තවත් නිර්ණායකයක් වනුයේ නවතම වාහන හෝ වසර දෙකක් ඇතුළත නිෂ්පාදනය කරන ලද වාහන පමණක් ආනයනය කිරීමට අවසර දීමයි.

දේශීය වශයෙන් වාහන එකලස් කිරීම දිරිමත් කිරීම සඳහා, අගය එකතු කිරීම සියයට 45 දක්වා වැඩි කළහොත් ඒ සඳහා දිරිගැන්වීම් පිරිනැමීමට රජයේ අවධානයට යොමුව ඇති අතර දැනට සිදු කෙරෙන අගය එකතු කිරීම සියයට 30ක පමණ මට්ටමක පවතී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment