ඔබේ අත්ලේ තාරකා ලකුණක් ඇත්නම් පලාපල මෙහෙමයි

8

අත්ලේ විවිධ රේඛාවලින් වගේම අත්ලේ පිහිටන විවිධ සලකුණු මගින් ද කෙනකුගේ ජීවිතයේ සුබ අසුබ දැනගත හැක. මෙවර ලිපියෙන් විස්තර කරන්නේ එවැනි සලකුණක් ගැනයි. එය තමයි තාරකා සලකුණ. දැන් අපි බලමු පිහිටි ස්ථානය අනුව හෙළිවන සුබ අසුබ කෙසේ ද කියා.

මණ්ඩල මත

අංක 1 සලකුණු කර ඇත්තේ ගුරු මණ්ඩලයයි. තාරකා සලකුණ ගුරු මණ්ඩලයට ඉතා හොඳ පිහිටීමක්. කොයි කාගේත් ගෞරවාදරයට ලක්වෙන ඔවුන් හරිම වාසනාවන්තයි. පිරිමියෙක් නම් රූමත්, ධනවත්, බලවත් බිරිඳක් ලබන අතර ගැහැනියක් නම් උගත්, ධනවත්, ප්‍රසිද්ධ අයකුට භාර්යාව වීමට හේතුවෙයි.

2 න් සඳහන් වන්නේ ශනි මණ්ඩලයයි. තාරකා ලකුණ ශනි මණ්ඩලයට ඉතාම අශුභයි. මරණීය දණ්ඩනයට නියම වන අයගේ එම ස්ථානයේ තාරකා ලකුණ පිහිටයි. රිය අනතුරකින් එහෙම නැතිනම් සාහසිකයකුගේ අතින් මරණයට පත්වෙන අයගේ අත්වල ද මෙම සලකුණ පිහිටිය හැක.

3 රවි මණ්ඩලය මත තාරකා ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ලේඛකයෙක්, සංගීතඥයෙක් හෝ නළුවෙක් වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්වෙන බවයි. තම උත්සාහයෙන් දියුණුවෙන ඔවුන් සමාජයට විශාල සේවයක් කර අමරණීය නාමයක් තබා මියයනු ඇත.

4 දක්ෂ, කපටි පුද්ගලයන්ගේ අත්වල බොහෝවිට බුධ මණ්ඩලය මත තාරකා ලක්ෂණය දිස්වෙයි. ව්‍යාපාර කටයුතුවලින් විශාල ධනවතකු වීමටත් මෙම සලකුණ හේතුවිය හැක. එමෙන්ම මෙවැනි පිහිටීම් ඇති අධ්‍යාපනය ලබන දරුවන් ද වාණිජ අංශයෙන් උසස් ජයග්‍රහණ ද ලැබිය හැක.

5 සලකුණු කර ඇත්තේ අත්ලේ පිහිටි කුජ මණ්ඩල දෙකින් පහළ කුජ මණ්ඩලයයි. ජීවන සටනින් ජයගෙන කායික හා මානසික සුවයෙන් ජීවත්වීමේ වරම් ලබන පුද්ගලයා පහළ කුජ මණ්ඩලය මත ඇති තාරකාවෙන් හඳුනා ගන්න.

6 නව නිපැයුම්, නව සොයාගැනීම් නිසා ප්‍රසිද්ධියට පත්වන අයගේ අත්ලේ චන්ද්‍ර මණ්ඩලය මත තාරකා ලක්ෂණ පිහිටයි. නමුත් ජලයෙන් අනතුරු සිදුවීමට ඉඩ ඇති හෙයින් එය අසුබ ලකුණක් ලෙස ද සැලකිය හැක.

7 මෙම අංකය සලකුණු වී ඇත්තේ සිකුරු මණ්ඩලයේයි. පහසුවෙන් ප්‍රේම සබඳතා ඇතිවීමට වගේම සාර්ථක පෙම් බැඳුමකින් සිදුවන විවාහයන්ට ද සිකුරු මණ්ඩලය මත දිස්වන මෙම තාරකා ලක්ෂණ හේතුවෙයි. අසීමිත කාමරාගය නිසාම විවාහ දිවියේ අවුල් වියවුල් ඇතිවීමට ද මෙම සලකුණ බොහෝවිට හේතුවිය හැක.

8 දැන් බලන්න, මෙම අංකය සඳහන් ඉහළ කුජ මණ්ඩලය දෙස. එම ස්ථානයේ තරු ලකුණ ඇති අය ඉතා නිර්භීතයි. යුද කටයුතුවලින් ජගත් කීර්තියට පත්වෙන ඔවුන් හමුදා ආඥාපති පදවිවලට සුදුසුම පුද්ගලයෝය. ත්‍රිවිධ හමුදා සේවයට ඔවුන් බොහෝවිට ගැළපේ. මෙවැනි අය වැරදි පැත්තට යොමු වුවහොත් ප්‍රසිද්ධ මැරවරයෙක් වීමට බොහෝවිට ඉඩ ඇත. ප්‍රසිද්ධ මැරවරයෙක් වූ මරු සිරාගේ අතේත් මෙවැනි තාරකා ලකුණක් තිබුණ බව සැලකේ.

9 මෙම අංකය ඇති තැන කුජ කලාවයි. තාරකා ලකුණ මෙම ස්ථානයට අසුබයි. මෙය විවාහක පුරුෂයකුගේ අතේ තිබුණොත් විවාහක ස්ත්‍රියටත්, ස්ත්‍රියකගේ අතේ සලකුණු වුවහොත් විවාහක පුරුෂයාටත් මාරක අපල ගෙන දේ.

10 මහපට ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකට තාරකා ලක්ෂණය සුබ නොවේ. බලාපොරොත්තු ඉටු නොවීමට එය හේතු වේ.

11 මහපටඟිල්ලේ දෙවැනි පුරුකේ තාරකා සලකුණ පිහිටි අය තර්කානුකූලව කතා කරන්න දක්ෂ නිසා ඉක්මනටම ජනප්‍රිය වෙයි.

12 උසස් අදහස් ඇති පුද්ගලයා දබර ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ තාරකාවෙන් හඳුනාගත හැක. හදිසි ධනලාභ ලැබීමටත් එය හේතුවෙයි.

13 සුවිනීත ගති පැවතුම් ඇති බව දබර ඇඟිල්ලේ මැද පුරුකේ ඇති තාරකා ලකුණින් හෙළිවෙයි.

14 අනවශ්‍ය දේවල් කතා කිරීමේ දක්ෂ අයගේ අත්වල පිහිටන ලක්ෂණයක් වෙයි.

15 ඕනෑම දෙයක් විනිවිද දැකිය හැකි, තියුණු වින්දන ශක්තියක් ඇති අයගේ ඇඟිලි තුඩුවල ඇති බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත. ඇඟිලි තුඩුවල බලයෙන් ලොව මවිත කළ ‘හෙලන් කේලර්’ නමැති ප්‍රසිද්ධ අන්ධ කාන්තාවගේ අතේ ඇඟිලි තුඩුවල එවැනි තාරකා ලකුණ තිබුණු බව සඳහන් වේ.

16 යුතු අයුතුකම් නොදන්නා එවැනි අය ඇසුරට සුදුසු නොව්.

17 අසුබ ලකුණක්. සාහසිකයකු අතින් ජීවිතය අහිමිවුන මහත්මා ගාන්ධිතුමාගේ අතෙත් තාරකා ලකුණක් තිබුණු බව කියැවේ. කෙසේවුවත් තමන්ගෙ අතේත් එවැනි ලකුණක් තිබුණත් බිය විය යුතු නොවේ. වෙනත් සුබ පිහිටීමක් ඇත්නම් ජීවිතය ආරක්ෂා වේ.

18 වෙද ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුකේ වැටී ඇති තාරකාවෙන් ගුප්තමය බලශක්තියක් ඇති අයකු හඳුන්වා දෙයි.

19 තමන්ගේ සුදුසුකම්වලට නොගැළපෙන රැකියාවල නියුතු අයගේ අත්වල මේ විදියේ තාරකා ලකුණු වැටිය හැක.

20 වඩා බුද්ධිමත් වන එවැනි අය කුමන ක්‍රමයකින් හෝ උසස් තත්ත්වයකට පත්වෙයි.

21 සුළැඟිල්ලේ මුල් පුරුකේ ඇති තාරකා ලකුණෙන් අන් අයගේ සිත් හඳුනාගැනීමේ ගුප්ත බලයක් ඇති කෙනෙක් හඳුනාගත හැක.

22 කුඩා කාලයේදීම මව්පියන් මියඇදෙන බව පෙන්නුම් කරයි.

23 සුළැඟිල්ලේ තුන්වෙනි පුරුකේ දිස්වන තාරකාවෙන් දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන වාසනාවන්තයෙක් හඳුනාගත හැක.

රේඛා මත පිහිටීම

ජීවන රේඛාව මත තාරකා ලකුණක් වැටීම අසුබයි. හදිසි අනතුරුවලට එය හේතුවිය හැකිය. නොයෙකුත් විදියේ මානසික රෝගවලට වගේම ස්නායු රෝගවලට හේතුවිය හැකි නිසා ශීර්ෂ රේඛාවට වුවත් තාරකා සලකුණ සුබ නොවේ. හෘදය රේඛාව මත තාරකාවක් වැටී තිබීමෙන් ඔහුගේ හෝ ඇයගේ ඇස්වලට ආබාධ ඇතිවීමට ඉඩ ඇත. කීර්ති රේඛාවට තාරකා ලකුණ ඉතා හොඳ පිහිටීමකි. ජනතාව අතර ජනප්‍රියවීමට, ප්‍රසිද්ධ වීමට එය හේතුවෙයි. ශල්‍යකර්මයන් සිදුවීමට ඉඩ ඇති නිසා සුබ රේඛාව මත තාරකා ලකුණ දිස්වීම අසුබයි. කාන්තාවකගේ අතේ එවැනි පිහිටීම ඇතිනම් දරු ප්‍රසූතින්වලදී ප්‍රවේශම් විය යුතුය.

හිඹුටානේ පියතිලක ද අල්විස්
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
0716212020, 0112419574, 0774979858


advertistmentadvertistment