ඔස්ට්‍රේලියාවේ වෙරළට ගසාගෙන ආ ඩොල්ෆින් මසුන් 90ක් මරයි

1350

ඔස්ට්‍රේලියාවට අයත් තස්මේනියා ප්‍රාන්තයේ වෙරළට ගසාගෙන පැමිණ ඇති අතරමං වූ ව්‍යාජ මිනීමරු තල්මසුන් යනුවෙන් හැඳින්වෙන දැවැන්ත ඩොල්ෆින් මසුන් 157 දෙනකුගෙන් 90 දෙනකු වෙඩි තබා මරා දැමීම ඊයේ (19දා) ආරම්භ කළ බව ඔස්ට්‍රේලියානු බලධාරීහු නිවේදනය කර තිබේ.

මෙසේ වනජීවී නියාමක නිලධාරීන් විසින් වෙඩි තබා මරා දැමීමට පියවර ගෙන ඇත්තේ ආතතියට පත්වීම හේතුවෙන් වෙරළට ගසාගෙන විත් සිටි නැවත මුහුදට යැවීම අසීරු වූ ඩොල්ෆින් මසුන් 90 දෙනකු බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. තස්මේනියානු වෙරළට ගසාගෙන විත් සිටින අතරමං වූ දැවැන්ත ඩොල්ෆින් මසුන් 157 දෙනාම එම තත්ත්වයට පත්ව ඇත්තේ නොගැඹුරු ජලයෙහි ගොදුරක් පසුපස හඹා යෑමේදී සිදුවූ අත්වැරැදීම් හෝ ඔවුන් භීතියට හා කම්පනයට පත් කළ තත්ත්වයක් නිසා වියහැකි බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබේ. වෙඩි තබා මරා දැමීම අරඹා ඇති ඩොල්ෆින් මසුන් 90 දෙනා නැවත මුහුදට හරවා යැවීමට දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අතර ඔවුන් තවදුරටත් වෙරළෙහි රැඳී සිටියහොත් දැඩි වධ වේදනා විඳීමට සිදුවීම නිසා ඔවුන් මෙසේ මරා දමන බව සාගර මත්ස්‍යයන් පිළිබඳ ජීව විiාඥයෙකු වන ආචාර්ය ක්‍රිස් කාලයොන් මහතා පවසා තිබේ.

මෙම අතරමංව සිටින මෙම ඩොල්ෆින් මසුන්ගේ හිස් කබලෙහි හැඩය මිනීමරු තල්මසාගේ හිස් කබලෙහි හැඩයට සමානවීම නිසා ඔවුන් ව්‍යාජ මිනීමරු තල්මසුන් ලෙස හැඳින්වෙන අතර ඔවුන් මීටර් 6ක් දක්වා දිගැති හා ටොන් 1.5ක බරකින් යුතු වන බව වාර්තාවී තිබේ. ඔස්ට්‍රේලියාවේ වෙරළට ගසාගෙන එන අතරමංවූ ඩොල්ෆින් මසුන්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රතිශතයක් ගසාගෙන එනුයේ තස්මේනියාවේ බටහිර වෙරළට බව විද්‍යාඥයෝ පවසති.


advertistmentadvertistment