ඖෂධ ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක්

195

නිදහස් සෞඛ්‍ය සේවාව වසර ගණනාවක් රට තුළ භුක්තිවිදින බවත්, නිදහස් අධ්‍යාපනයෙන් පැමිණි පුද්ගලයින් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගත යුතු බවත් ඒ මහතා කීය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, සත්‍ය සැගවීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, සත්‍ය තොරතුරු නිවැරදිව ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය. “කළුතර නාගොඩ රෝහලේ නිර්වින්දන සදහා යොදා ගන්නා එන්නත් නොමැති බවටත්, ගැබිණි මව්වරුන් වෙනත් රෝහල්වලට මාරු කර යවන බවටත් මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී තිබුණා. මෙම ඖෂධය රෝහලේ අඩු බව අධ්‍යක්ෂතුමිය දැනුම් දුන්නේ පසුගිය 19 වනිදා. එහිදී එම ඖෂධය අද දින වෛද්‍ය සැපයුම් අංශයට ලැබෙන බවට දැනුම් දුන්නා. රෝහලේ තිබුණ නිර්වින්දන ඖෂධ 17 ට අමතරව තවත් 50 ක් ප්‍රදානයක් ලෙස එම රෝහලට ලැබී තිබුණා. අදාළ නිර්වින්දන ඖෂධ 67 ක් රෝහලේ තිබුණා. 20 වැනිදා උදේ වෛද්‍ය සැපයුම් අංශයට ලැබුණු අදාළ ඖෂධ මේ වනවිට කළුතර රෝහලට ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කළුතර රෝහලේ එම ඖෂධ හිඟය අවසන්ව තිබෙනවා. මෙම ඖෂධය නිසා කිසිදු ගැබිණි මවක් රෝහලට බාර නොගෙන සිටියේ නැහැ.”“කෑගල්ල රෝහලේ Cefriaxone ප්‍රතිජීවක ඖෂධය ලබාදීම නිසා ඇති වූ ආසාත්මිකතාවයකින් රෝගියෙකු මියගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම රෝගියා අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබුණේ මෙම මස 10 වැනිදා. මියගියේ 18 වනිදා. මේ මිය යාම අපි සාධාරණීය කරන්න යනවා නොවේ. මෙම රෝගියාට ආසාත්මිකතාවය ඒමට ප්‍රථම මෙම ප්‍රතිජීවක ඖෂධය 14 වරක් ලබාදී තිබෙනවා. 15 වැනි අවස්ථාවෙයි ආසාත්මිකතාවය ඇතිවූයේ. ආසාත්මිකතාවයෙන් පසුව හොද අතට හැරී තිබුණා. පසුව ඔහුගේ රෝගයේ සංකූලතවයක් හේතුවෙන් රෝහලේ දැඩිසත්කාර ඒකයට ඇතුළත් කළා. එහිදී රෝගියාගේ පැවැති රෝගී තත්ත්වය අනුව මියගොස් තිබෙනවා. මේ පිළිබදව විවෘත තීන්දුවකි ලබාදී තිබෙන්ණේ. මේ පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එම පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ලැබුණු පසු රෝගියා මියයාමට හේතු වූ නියම හේතුව දැනුම් දිය හැකියි. ”


advertistmentadvertistment