ඖෂධ නියාමනයට හා ඊ වීසා සඳහා පෞද්ගලික සමාගමක මෘදුකාංග භාවිතය වළක්වන්න – පෙත්සම ජූනි 9ට කල් යයි

16

ඖෂධ නියාමක අධිකාරිය සහ විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක මෘදුකාංග භාවිත කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි මස 9 වැනිදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂඨාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි. වගඋත්තරකරුවන් වශයෙන් එපික් ලංකා සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

වගඋත්තරකාර සමාගම විසින් ම නිර්මාණය කරන ලද මෘදුකාංග යොදා ඖෂධ නියාමන අධිකාරිය සහ විද්‍යුත් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු සිදු කරන බව පෙත්සමේ සඳහන් වේ.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාවක් සිදුවී ඇති අතර එවැනි තවත් අක්‍රමිකතා සිදුවී ඇති බවත් එබැවින් අදාළ සමාගමේ මෘදුකාංග යොදා ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර සමාගම සිය පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment