කතරගම පුදබිමට තිරුපති දෙවොලෙන් ආදර්ශයක්!

514

මල් වවමු,මල් උයන් සාදමු,පොලිතීන් උවදුර පිටුදකිමු

කතරගම යනු ලෝකයේ ඇති සියලූම ආගම්වලට අයත් බැතිමතුගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයකි. කතරගම පුදබිමට අරක් ගත් කඳ කුමරුවන්ගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර ගැනීම පිණිස බැතිමතුන් දෛනිකව පැමිණීම අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිදුවෙමින් පවතී. බොහෝ පිරිසක් පැමිණෙන විට දී බුදුන්ට මල් පූජා කිරීමට රැගෙන එන මගදී දෙවියන්ට ද පූජා වට්ටියක් රැගෙන ඒම සම්ප‍්‍රදායක් වේ. මෙම පළතුරු පූජාවට පළතුරු 07 ක් මෙන්ම අනිවාර්ය ලෙස මල් මාලයක් තැබීම සිදුවේ.

අතීතයේ දී සැබෑ ස්වාභවික මල්වලින් සෑදු මල් මාලා දෙවියන්ට පූජා කළ ද වර්තමානය වන විට දී මෙම මල්මාලය ඉටිකොළවලින් විශාල ලෙස නිර්මාණය විය. කතරගම ජීවත්වන ජනයාගෙන් සියයට හතළිහක පමණ කාන්තාවන්ගේ ස්වයං රැකියාවක් වන්නේ මෙම මල් මාල කර්මාන්තයයි.

කතරගම දෙවියන්ට රතුපාටත්, විෂ්ණු දෙවියන්ට නිල්පාටත් ඝනදෙවියන්ට කහපාටත් වශයෙන් විවිධ වූ දෙවියන් වෙනුවෙන් විවිධ වූ මල්මලා ගෙතීමට කතරගම කාන්තාවන් හුරු වී තිබේ. මෙම ඉටි කොළවලින් නිමවූ මල්මලා කැඞී ගිය පසුව කතරගම පරිසරයේ සෑම තැනකම ඇති කැළි කසළ ගොඩවල්වල දිරාපත් නොවී ඇති අයුරු අදත් දැකගත හැකිය.

පරිසර අමාත්‍යාංශය මගින් මෙයට මාස කීපයකට පෙර පොලිතීන්, ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතාව අවම කරමින් පැනවුණු තහනමත් සමග ඉටිකොළ මාල කතරගම දේවාලයට ද ගැනීම සීමා කරන ලදී. මෙම ඉටිකොළ මාල විකිණීම සිදු නොකරන ලෙස කතරගම පරිසර පොලිසිය ද වෙළෙඳුන් දැණුවත් කිරීම මත පරිසරයට අහිත කර වූ ඉටි පොලිතින් මාල වෙනුවට කාන්තාවන් වැඩි දෙනකු කතරගමට ආවේණික වූ මල් උපයෝගී කර ගෙන සැබෑ සුවඳ හමන මල්මාලා නිර්මාණය කරමින් ඉටි කොළ මල්මාලයට සමුදී තිබේ.

කතරගම කිරිවෙහෙර මාර්ගයේ සිටින මල් කඩවල සිටින ළඳුන් වැඩිවශයෙන් මෙම මල් මාල නිර්මාණය කරන පිරිසකි. නෙලූම් මල්, පිච්ච මල්, වතු සුද්ද මල්, අරලිය වැනි මල් උපයෝගි කර ගෙන නිර්මාණය කරන සුවඳ හමන ස්වාභාවික මල්මාලා මේ වනවිට බැතිමතුන් පූජාවට එක් කිරීමට හුරුවෙමින් පසුවේ.

කතරගම දෙවියන් ඇතුළු විවිධ වූ දෙවියන්ට තබන පූජා වට්ටියට සුවඳ මහන මල්මාලයන් තබන අතර අෂ්ඨ ඵළබෝධියට, කිරිවෙහෙර අභියස ඇති මහසෙන් දෙවියන්ට පැළඳවීමට ද බැතිමතුන් මෙම මල්මාලයන් මිල දී ගැනීම සිදුවේ.

කතරගම කිරිවෙහෙරට යන එන මාර්ගයේ එන්න එන්න මල් ගන්න කියමින් නෙලූම් මල් විකුණූ යුවතියන් මේ වනවිට මල්මාලයන් ද නිපදවා මුදලක් උපයා ගනු ලබති. වසර 40 කට වැඩි කාලයක් පුරා මල් බැතිමතුන්ට ලබා දී මුදලක් ගෙන දිවි ගෙවන ආර්. එම්. බී. කමලාවතී මාතාව මෙසේ පැවසුවාය. අපි මුලින්ම ගමේ මල් එකතු කරලා මල් මාල හැදුවා. පස්සේ බැතිමතුන් වැඩිවීමත් සමග කතරගම කාන්තාවන් ඉටිකොළ වලින් මාල හදන්න ගත්තා ඉටිකොළ මාල කාලයක් තබා ගැනීමට හැකි නිසා කවුරුත් ඉටිකොළවලින් මල් මාල හැදුවා. අපි ඉඳහිට කවුරුහරි ඉල්ලූවොත් විතරක් මහසෙන් පූජාවටයි බෝධියටයි නෙලූම්, පිච්ච මල් වලින් මාල හැදුවා. දැන් ඉටි කොළ මාල තහනම් කරපු නිසා බැතිමතුන් හරිම කැමැත්තෙන් ස්වභාවිකව හදන මාල මිල දී ගන්නවා. මල් වලින් මාලයක් හදන්න කාලයක් යනවා. රුපියල් 300 කට 500 කට මල් මාලයක් වෙළෙඳාම් වෙනවා අපිත් හරිම කැමතියි ඇත්ත මල් මාල හදන්න යනුවෙන් කමලාවතී මාතාව පැවසුවාය.

මල් කඩයක් හිමි එස්. පී. රමණි මහත්මිය මෙසේ පැවසුවාය.

‘අපි වෙනදා නෙලූම් මල්, පිච්ච මල් තමයි වන්දනා බැතිමතුන්ට වික්කේ. දැන් අපි සැබෑම සුවඳ මල්වලින් මල්මාලා හදනවා. අඩි 04, 03, 02 වැනි දිග ප‍්‍රමාණයන්වලින් මල්මාලා හදනවා. කතරගම ප‍්‍රදේශයට ආවේණික වූ වතුසුද්ද, පිච්ච, දාස්මල්වලට අමතරව නුවර එළියෙන් රෝස මල් වගේ සුවඳ හමන මල් රැගෙනවිත් පරිස්සමෙන් තියාගෙන මල්මාලා හදනවා. ඉටි කොළ මල්වලට වඩා වන්දනා බැතිමතුන් කැමතියි ස්වාභාවික මල්වලින් හදන මාලවලට. ඉස්සර අපි සුදු, රතු පාට නෙලූම් මල් කතරගම වැව්වලින් තමයි කඩා ගත්තේ. දැන් මල්කඩ වැඩිවෙලා දැන් කතරගම මල් වැඩිය නැහැ. පොලොන්නරුව, මහියංගනය, බිබිල, බණ්ඩාරවෙල වගේ පළාත්වලින් තමයි වැඩිපුරම මල් ගේන්නේ. දැන් කතරගමට එන වන්දනා බැතිමතුන් අපේ අතින් හදන සුවඳ මල්මාලා දෙවියන්ට පූජාවට තබනවා.

සිය ජීවිකාව මල් කඩයකින් රැගෙන යනු ලබන ෂාමිලා දිලානි මහත්මිය පැවසුවේ එක් අමිහිරි කතාවකි. එනම් ඉටි කොළ මල් මාලා තහනම් වීමත් සමග ස්වාභාවිකව මෙම ළඳුන් නිර්මාණය කරනු ලබන මල්මාලයට අභියෝග කරමින් චීනයෙන් රැගෙන එනු ලබන ඉටි හා රෙදි මිශ‍්‍ර වූ පාට පාට මල්මාලා විවිධ වූ වෙළෙඳුන් විසින් කතරගම වෙළෙඳසල් වෙත තොග වශයෙන් අලෙවි කරන බවයි.

මෙම රෙදි මිශ‍්‍ර මල් මාලා ඇතැම් පිරිස් විසින් පූජාවට තබන අයුරු ද දිස්වේ.

මේ වනවිටත් ඇතැම් පූජා වට්ටි කඩවල මෙම චීනයෙන් ආනයනය කරන ලද මල්මාලා එල්ලාගෙන විකිණීම සිදුවේ. මේ සම්බන්ධයෙන් රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා පැවසුවේ. කතරගම දෙවියන්ට තබන පූජාවේ වැඩිම ප‍්‍රමාණයක් ඇත්තේ ඉටි කොළවලින් සාදන මල්මාල අපි දන්නවා. මෙම මාල දෙවියන්ට සුදුසු නොවන බව නමුත් බැතිමතුන් ගේන නිසා අපි සිත් රිදවන්නේ නැතිව ගන්නවා. මල්මාලයක් කියන්නේ මල්වලින් සාදන නිසා ස්වාභාවික මල් මාලවලින් තමයි දෙවියන්ට බුදුන්ට සිදු කරන පුද පූජාවන් සිදු කළ යුත්තේ. දැන් පරිසර අමාත්‍යාංශය විසින් ඉටි කොළ තහනම් කිරීම මුල් කරගෙන සැබෑ මල්වලින් හදන මාල දෙවියන්ට පූජා වට්ටියේ තියාගෙන බැතිමතුන් රැගෙන එනවා’ යනුවෙන්ය. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවේ කතරගම ජීවත් වෙන
ජනයාගෙන් වැඩි දෙනෙක් ජීවත් වන්නේ කතරගමට එන බැතිමතුන් පූජා භාණ්ඩ, පළතුරු පූජාවට්ටි, සේවා සහ නවාතැන් සපයලා. කතරගම ප‍්‍රදේශයේ කාන්තාවන් වැඩි හරියක් මල් මාලා ගොතලා දිවි ගෙවනවා. පරිසරයට අහිතකර වූ ඉටි මල්මාලා විකිණීම පරිසර අමාත්‍යාංශය විසින් තහනම් කිරීමත් සමග පිරිසකට අසාධාරණයක් වුවත් වැඩි පිරිසකට යහපතක් වී තියෙනවා.

කතරගම ප‍්‍රදේශයේ ඇති මල්වලින් ගමේ අය ස්වාභාවික මල් මාලා හදලා කඩවලට දෙනවා. මේ නිසා මල් වවලා දිවි ගෙවන අයටත් හොඳක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාභාවික මල්වලින් මාල සෑදීම මුල් කරගෙන කතරගම ජනයා මේ පළාතට ආවේණික වූ මල් වගා කිරීමත් ආරම්භ කරලා තියෙනවා.

කතරගම ජනයාට වඩා ස්වාභාවික මල් මාලා කතරගමට ගෙනැවිත් මුදල් ඉපයන්නේ වැල්ලවත්ත, නුවරඑළියේ මල්මාලා කර්මාන්තකරුවන් ඇසළ උත්සවයට. කතරගම අවුරුදු මංගල්‍යයට, ඉල් මංගල්‍යයට දෙවියන් වැඩමවන වත පුටුව සඳහා මල් මාල ගේන්නේ කොළඹින්. එක් මාලයක් රුපියල් 15000 යි, 10000 යි. මේවා පිට පළාත්වල අයට යන මුදල් කතරගම අපේ ගමේ ජනයාට පුළුවන් මේ මාල හදන්න. ඒ සඳහා මේ කාන්තාවන්ට දැනුම අතහිත දීම වැදගත් වෙනවා’’ යැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන ලදී.

සැබැවින්ම ගමේ වරකා ගමේ කපුටන්ට යනුවෙන් අපේ රටේ ගැමි කියමනක් පවතී. කතරගම පුදබිම මුල් කරගෙන එන බැතිමතුන්ට විකිණෙන ද්‍රව්‍ය අතර රස කැවිලි, හ`දුන්කූරු, පළතුරු වැනි දේවල් රැසක් පිට පළාත්වලින් රැගෙනවිත් කතරගම ජනයා විකුණා දිවි ගෙවති.

ඉන්දියාවේ ආන්ද්‍ර ප‍්‍රාන්තයේ ඇති තිරුපති කෝවිල යනු ලොව ඇති වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් පියන`ගන පුදබිමකි. මහා විෂ්ණු දෙවියන්ට අයත් මෙම පුදබිම වෙත පැමිණෙන බැතිමතුන් සඳහා වැඩි වශයෙන්ම අවශ්‍ය මල්, පූජා ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, හඳුන්කූරු, රස කැවිළි. ආන්ද්‍ර ප‍්‍රාන්තයේම දිවි ගෙවන ජනයාගේ අතින්ම නිපදවා පැමිණෙන බැතිමතුන්ට අලෙවි කර මුදල් උපයා ගනිති.

මේ අතරින් තිරුපති කෝවිලට පමණක් නොව ඉන්දියාවේ ඇති අනෙකුත් දේවාල කෝවිල් තුළ ද සෑම ස්ථානයක්ම මල් මාලා වලින්, මල් වැල් වලින් දිනපතාම සරසා දෙවියන්ට ආවේණික වූ පරිසරයක් නිර්මාණය කරති. හිංදු බැතිමතුන් වැඩි වශයෙන් විවාහයක් සඳහා උත්සවයක් ගැනීම හිංදු චාරිත‍්‍රවලට අනුව කෝවිල් තුළ කිරීම සිදුවේ. එම ම`ගුල් මඩුවේ සිට ආහාර ගන්නා මේසය පවා මල්වලින් සකක් කිරීම හා සැරසීම සිදුවේ.

අපේ රටට මේ සඳහා හොඳ ආදර්ශයක්ගත හැකි ප‍්‍රධාන කෝවිලකි දකුණු ඉන්දියාවේ තිරුපති. තිරුපති කෝවිලේ භාරකාර මණ්ඩලයේ ප‍්‍රධානි ක‍්‍රිෂ්ණ මුර්ති මහතා ප‍්‍රථම වතාවට කතරගම පුදබිම වෙත පැමිණි අතර එහිදී කතරගම නගරයේ ඇති ඇතැම් ස්ථාන දැක දැඩි ලෙස කනගාටුවට පත් විය. තිරුපති කෝවිලට ඇතුල් වීමට කිලෝ මීටර් 20කට පෙර සිට මාර්ගවල දෙපස ඇත්තේ ස්වාභාවිකව සකසා ඇති මල් ගස් සහ මල් උයන්ය. දේවාල භූමියද සුවඳ මල් වලින් හැඩ වැඩ කිරීම දෛනිකව සිදු වන ක‍්‍රියාවකි. මේ සම්බන්ධව තිරුපති ප‍්‍රධානි ක‍්‍රිෂ්ණ මුර්ති මහතා පැවසුවේ තිරුපති දේවාලය විසින් මල් වගා කිරීමට ඉඩම් අක්කර 5000 ක් ඉක්ම වූ ප‍්‍රමාණයක් පවත්වාගෙන යන බවයි. මෙම ඉඩම් අක්කරය බැගින් පවුල් 5000 කට ආසන්න පිරිසකට බෙදා දී ඇත. මෙම ඉඩම් තුළ ආන්ද්‍රා ප‍්‍රාන්තයේ කෝවිල්වලට අවශ්‍ය ස්වාභාවිකව හැදෙන මල් වගා කිරීම එම ඉඩම් ලාභීන්ට පැවරී ඇති එකම රාජකාරිය වේ.

දිනපතා මල්කුඩ රැගත් ලොරි මෙම මල් වගා බිමි වෙත පැමිණෙන අතර විවිධ වූ මල් සහිත කූඩයක් ඉන්දීය මුදලින් රුපියල් 200 කට මිල දී ගැනීම සිදුවේ. එක් ඉඩමකින් මල් කූඩ කිලෝ 20 – 15 අතර මිල දී ගැනීමට තිරුපති භාරකාර මණ්ඩලය ක‍්‍රියා කිරීම නිසා දේවාලයට මල් පමණක් ලබා දී දිවි ගෙවන දරු පවුල් 10,000 ක් පමණ එහි සිටින බව ක‍්‍රිෂ්ණ මුර්ති මහතා පැවසුවා මට මතකය.

තිරුපති දේවාලයට පමණක් නොව, ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශ වෙත මෙන්ම විවාහ ම`ගුල් උත්සවයන්ට ද මෙම මල් අලෙවි කිරීම සිදු වන අතර තිරුපති දේවාලය මුල් කරගෙන පවුල් 48,000 ක් පමණ ජීවත් වන බව ක‍්‍රිෂ්ණ මුර්ති මහතා කීවේය. එසේ නම් තිරුපති දේවාලයෙන් අප රටේ ඇත්තන්ට උගත හැකි පාඩම් කොතෙක්ද. ඉන්දියාවේ කෝවිල් අසළ කාන්තාවන් පිච්චමල් කූඩ තබාගෙන සිටින අතර බැතිමතුන් තම අතේ ඇති මුදලකට එම මොහොතේදීම මල්මාලයක් මෙම කාන්තාවන්ට කියා සාදවා ගෙන දෙවියන්ට පැළඳවීමට ක‍්‍රියා කරන අයුරු දැකගත හැකිවේ.

ස්වයං රැකියාවන් කරමින් දිවි ගෙවන අපේ රටේ ජනයා නඟාසිටුවීමට මේ රටේ පැහැදිලි සැළසුමක් නොමැතිකම මත අපේ නිපැයුම් හා වෘත්තීන් වළපල්ලට යවා චීනයෙන් සහ ඉන්දියාවෙන් රැගෙන එනු ලබන ප්ලාස්ටික් මල්, රෙදි මල් හා පොලිතීන් විකුණා ගෙන පිටරටට මුදල් යවන සංස්කෘතියක් අපේ රටේ පැවතීම කනගාටුවට කරුණකි.

කතරගම පෙරහැරේ දෙවියන් වැඩමවන වාසනා හස්තියා මත දෙවියන් තැන්පත් කිරීම සඳහා නිමවන ‘‘වතපුටුව’’ සකස් කිරීම හා සැරසිලි කිරීම සිදුවන්නේ සුදු පිච්ච, සුදු රෝස, කපුරු, ඬේලියා ආදී වූ සුවඳවත් අලූත් ස්වාභාවික මල් වලින් පමණි. මල්වලින් වාසනා හස්තියා සැරසීමට වියදම් අධික පුන්‍යකර්මයකි. කෙසෙල් පට්ට, විවිධ වූ මල්, පාටපාට නූල් යොදා සාදන ලද මල් මාලා සිය ගණනාවක් කතරගම දෙවියන් වැඩමවන වාසනා හස්තියා මත තැන්පත් කෙරේ. මේ සඳහා බැතිමතුන් ලක්ෂ ගණනාවක මුදලක් නුවරඑළියේ මල් කර්මාන්තකරුවන්ටත් කොළඹ වැල්ලවත්තේ මල් කඩකරුවන්ටත් පෙරහැර කාලයට වියදම් කරති.

තිරුපති කෝවිලේ ආදර්ශයෙන් කතරගමට අවශ්‍ය පිච්ච, දහස්පෙති ආදී මල්වර්ග රැසක් කතරගම ප‍්‍රදේශයේම වගා කරන්නට වැඩපිළිවෙළක් වේ නම් එම මුදල් කතරගම ගමේ ජනයාට ලබාදීමට වැඩපිළිවෙළක් යෙදීමට හැකිය. නිදසුනක් ලෙස, වැල්ලවත්තේ මල්මාලකරුවන් පට්ටා සහ නූල් යොදා ස්වාභාවික මල් උපයෝගි කරගෙන මල්මාලයක් නිර්මාණය කරන අයුරු පිළිබඳ කෙටි පුහුණුවක් ලබා දීම තුළින් කාන්තාවන් දිරිමත් කර ආදායම් ඉපයීමට පෙළඹවිය හැකිය. මෙයට අමතරව කතරගම ඇති සෑම ඉඩමකම කතරගම දේශගුණයට සරිලන මල් වර්ග වගා කිරීම පිණිස දැනුම ලබා දීම මෙන්ම ඊට අවශ්‍ය පැළ, බීජ, උපදෙස් ලබාදීම, ඔවුන්ට ජලය ලබා ගැනීමට හැකි ආධාර උපකාර ලබා දීම, කතරගම අවට ගැමි ජනයාගේ අතමිට සරු කිරීමට මහත් රුකුලක් වනු ඇත.

කතරගම – කේ. ඞී. දේවප‍්‍රිය


advertistmentadvertistment