කම්කරුවන්ට රු.1700 නොදෙන වතු රජයට පවරා ගන්නවා

22

ඇමැති ජීවන් තොණ්ඩමන් කියයි
ආරුමුගම් තොණ්ඩමන් 60 වැනි ජන්ම දින සැමරුම

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කළ රු. 1700 වැටුප ගෙවීමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යළි රජයට පවරාගෙන වෙනත් සමාගම්වලට එම වතු බදු පදනම මත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු ඇමැති දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ 60 වැනි ජන්ම දිනය ඊයේට (29) යෙදී තිබීම නිමිත්තෙන් ඔහු සිහි කිරීම සඳහා හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ ඊයේ පැවැති සැමරුම් උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වැටුප් පඩිපාලක සභාව විසින් මීට ප්‍රථම වතු කම්කරුවන්ට වැඩි කළ රු. 1000 වැටුප සම්බන්ධයෙන් වතු සමාගම් අධිකරණය හමුවේ පනවා තිබූ නඩුවක් ඊයේ (29) දින යළි කැඳවූ අවස්ථාවේ එම නඩුව වතු කම්කරුවන්ට සාධනීය ලෙස පැවති බවයි.

එම නඩුව මේ මස (31) දින යළි කැඳවන බවත්, එහිදී වතු කම්කරුවන්ට එම වැටුප ගෙවන ලෙසට අධිකරණය මගින් වතු සමාගම් වෙත තීන්දුවක් ලබාදෙන බවට තමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ සියලු දෙනා තුළ විශ්වාසයක් ඇති බවත් ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

මැයි දින රැලියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරුවකුට දිනකට රු. 1700 ක වැටුපක් ලබාදෙන බවට ප්‍රකාශයක් කළ බවත්, එම ප්‍රකාශයට විරෝධය පාමින් වතු සමාගම් විසින් කරන ලද ප්‍රකාශ ඇතැම් වතු කම්කරුවන් විසින් පිළිගත් නමුත් අවසානයේ එම වැටුප වතු සමාගම්වලට ගෙවීමට සිදු වන බවත් ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment