කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර
ලෝකයේ අනෙක් රටවල් සමග බලනවිට අපේ රටේ ශ්‍රම බළකායේ ඵලදායිතාව සීයකටත් වඩා අඩු මට්ටමක පවතින බවත්, එනිසා කම්කරුවන් නැතිකොට ශ්‍රමිකයන් හදන වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් මාධ්‍ය සංසද පිහිටුවීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය සංසදය පිහිටුවීම සඳහා, ගාල්ල ඔවින්මෝ හෝටලයේ පැවැති වැඩසටහනේදීය.
එහිදී ඒ මහතා මෙසේ ද කීය.
“එදා මම කිව්ව කම්කරුවා නැති කරනවා කියලා. ඒ වෙනුවට අපේ රටේ ශ්‍රමිකයෝ, වැඩකාරයෝ හදන වැඩපිළිවෙළ පටන් ගත්තා. ලෝකයේ අනෙක් රටවල් සමග බලන විට අපේ රටේ ශ්‍රම බළකායේ ඵලදායිතාවය සියයටත් වඩා අඩුයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අලුත් අධ්‍යාපන පරිවර්තන ටිකත් සිද්ධ වෙන්න පටන් ගත්තා. හැබැයි ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ තව අවුරුදු දහයකින් පහළොවකින්.
කම්කරු පනත වෙනුවට අණපනත සියල්ල එකතු කරල රැකීරක්ෂා පනත අලුතෙන් හදන්න පටන් ගත්තා. එතකොට කම්කරු දෙපාර්තමේන්තුව රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ලෙසත් කම්කරු ඇමැති රැකීරක්ෂා ඇමැති ලෙසත් වෙනස් වෙනවා. ඒ වගේම මුළු රටේම වැඩකරන ජනතාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමයක් හදන්නත් ඇමැති මණ්ඩල අනුමැතිය ලැබුණා.
ශ්‍රම වාසනා අරමුදලෙන් විදෙස් ශ්‍රමිකයන්ගේ දරුවන්ට පොත් ලබා දෙනවා. මේ අරමුදලේ එදත් සල්ලි තිබුණා. ඒ කාලේ දේශපාලකයන් ඒ සල්ලි පාවිච්චි කළේ ඡන්ද කාලෙට තමන්ගේ ප්‍රදේශවලට ගිහින් බෙදන්නයි. නමුත් ඉදිරියේදී මේ සියල්ල අපි නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙනයනවා.”
අහංගම – සුගතපාල දීයගහගේ , වංචාවල – ගැමුණු චන්ද්‍රලාල් සහ හබරාදුව – ඒ.එල්.ඒ. ආරියරත්න