කරකාර බැඳීම සියයටට තිහකින් පහළ ගිහින්

952

නීතීඥ ඊ.එන්.බී. මල්ලව

වසර හතරක් තුළදී ශ්‍රී ලංකාවේ විවාහ ගිවිස ගැනීම් ප්‍රතිශතය සියයටට තිහකින් අඩුවී ඇතැයි නීතීඥ ඊ.එන්.බී. මල්ලව මහතා පවසයි.

දික්කසාද සහ පවුල් ආරවුල්වලට ප්‍රධාන හේතුව ලිංගික අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම සහ අනවබෝධය බවත් විධිමත් ලිංගික අධ්‍යාපනයක් රටේ නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක් බවත් මල්ලව මහතා පවසයි. මෙහි ප්‍රතිපලයක් ලෙස දික්කසාද හා නඩත්තු නඩු වාර්තා වීම ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා කීය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නීති ආධාර කොමිෂන් සභාවේ මහනුවර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් මහනුවර රෝයල් මෝල් හෝටලයේදී පැවැති උත්සවයකදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඊ.එන්.බී. මල්ලව මහතා මෙසේද පැවසුවේය.

අපි සියලු‍දෙනා හිරිමල් යෞවන කාලය පසුකර තිබෙනවා. ඒක ඉතාමත්ම කුතුහලය පිරි කාලයක්. මේකට නියම විදිහට ප්‍රතිකාර කරන්න මෙඩිසින් එකක් අපේ රටේ තාම නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය ගෙනාවා උදාවූ යෞවනය කියලා පොතක්. අපි මේ පොත කියවලා ලොකු අවබෝධයක් ගත්තා. පසු කාලීනව මේක විධිමත් කරන්න යන කොට විවිධ බලපෑම් ආවා. ඒ නිසා ඒ වැඩපිළිවෙළ යටපත් වුණා. හිරිමල් යෞවනයට පිය මනින සෑම දරුවෙක් අතේම අද මොබයිල් ෆොන් එකක් තිබෙනවා. අපේ කාලයේ ප්‍රශ්නයක් තිබු‍ණොත් අපි ගුරුවරයෙක්ගෙන් අහනවා. නැත්නම් පොතක් අරන් කියවලා දැන ගන්නවා. දැන් දරුවෝ ගොඩක් දේවල් දැන ගන්න අන්තර්ජාලයට යොමු වෙනවා. මේකට පාවිච්චි කරන්නේ ජංගම දුරකතනය. මේක පාලනය කරන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. දරුවෝ ෆෝන් එකට ඇබ්බැහි වෙලා. ගෘහස්ත ප්‍රචන්ඩත්වය ඉහළ ගිහින්. දික්කසාද හා නඩත්තු නඩු වැඩි වෙලා.

හිංසනය ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද සිදුවිය හැකියි. නමුත් සමාජයක් ලෙස අපි වැඩිපුර කතා කරන්නේ ශාරීරික හිංසනය පිළිබඳවයි. මොකද ඒක අපේ ඇස්වලට පේන නිසා. නමුත් මානසික වශයෙන් හිංසනයට ලක්වන අති විශාල පිරිසක් අප අතර සිටිනවා. විශේෂයෙන් කාන්තාවන් හා දරුවන් තමයි වැඩිපුර මානසික හිංසනයට ගොදුරු වන්නේ. මිනී මැරීමට තැත් කිරීමේ සිට රවා බැලීම දක්වා මානසික හිංසනය සම්බන්ධ විෂය පථය පුළුල්. මානසික හිංසනය අවම කිරීම සඳහා වගකිව යුතු ආයතන මොනතරම් දුරට ක්‍රියාත්මක වෙනවාද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.

ගෘහස්ථ හිංසනය ගත්තොත් සැමියා බීමත්ව පැමිණ බිරිඳට හා දරුවන්ට පහරදීම, නිවසේ භාණ්ඩ පොළොවේ ගැසීම වගේ දේවල් තමයි අපිට සිහියට එන්නේ. කුටුම්භය තුළ මානසික වශයෙන් සිදුවන හිංසනය නිසා දරුවන් හා කාන්තාවන් පීඩාවට පත්වන ප්‍රමාණය අතිවිශාලයි. දරුවෙක්, කාන්තාවක් අපහසුතාවට පත්වන ආකාරයට රවා බැලු‍වත් ඒක මානසික හිංසනයට වැටෙනවා. මේ විෂය පථය ඒ තරමට විශාලයි. ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නිවස තුළම සිදුවිය යුතු නැහැ. කුටුම්භයක මූලික සම්බන්ධතාව පවතින අය අතර නිවසින් බාහිර ස්ථානයකදී හිංසනකාරී සිදුවීමක් වන්නේ නම් එය ගෘහස්ථ ප්‍රචන්ඩත්වය යටතට ගැනෙනවා. පීඩාවට පත්වන තැනැත්තා අපහසුතාවට පත්වන ආකාරයට ඔහු හෝ ඇය පසුපස ගමන් කිරීම පවා හිංසනයක්. ඒකත් අධිකරණ නියෝගයකින් වැලැක්විය හැකියි.

මෙහිදී නීතීඥ සංගමයේ ලේකම් කුෂා වෙලගෙදර, නීතීඥ චන්දන උඩගෙදර, නීති ආධාර කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යභාර නිලධාරි නීතීඥ නිරෝෂිණි ජයසිංහ යන මහත්ම මහත්මීහුද කතා කළහ.

සමන්ති වීරසේකර


advertistmentadvertistment