කරන්නාගොඩට පැනවූ ඇමෙරිකානු තහනමට අලි සබ්‍රීගේ විරෝධය

77

යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඇමෙරිකාව ගෙන තිබෙන තීරණය ප්‍රතික්‍ෂේප කළ බව විදේශ කටයුතු ඇමැති අලිසබ්‍රී මහතා ‘දිවයින’ට පැවසීය.

හිටපු නාවික හමුදාපතිවරයාට හා ඔහුගේ බිරිඳට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කර ඇත.

මේ තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉදිරියේදී ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද අලිසබ්‍රී ඇමැතිවරයා කීය.

මෙම තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මියට විදේශ අමාත්‍යාංශය කනස්සල්ල පළකර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ඇති කිරීමට ශ්‍රී ලංකා රජය පියවරගෙන තිබෙන මොහොතක යුද සමයේ සිද්ධීන් මුල්කරගෙන මෙලෙස හිටපු නාවික හමුදාපතිවරයකුට හා බිරිඳට මෙවැනි තහනමක් පැනවීම නොකළ යුතු දෙයක් බවද විදේශ අමාත්‍යාංශය කියයි.

මෙම තීරණයට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවද අමාත්‍යාංශය කියා සිටී.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව හා අමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වීය සබඳතා මැද ඒකපාර්ශ්වීය මෙම තීරණය ගෙන තිබෙන බවයි. ජාතික සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන තිබෙන සාකල්‍ය ප්‍රවේශයට මෙමඟින් අවාසිදායක බලපෑමක් එල්ල කරන බවද එහි සඳහන් කොට ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යුහය ශක්තිමත් කිරීමෙහිලා, රජය ලබා තිබෙන ප්‍රගතිය මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම වාසනාවකි. ආර්ථිකය යථා තත්ත්වයට පත්කරමින් සමාජ ආර්ථික සංවර්ධනයක් සාක්‍ෂාත් කරගැනීම සඳහා අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාව ක්‍රියාකරන බව ද එහි සඳහන් කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment