දැනට පවතින කර්මාන්තශාලා 32,000කට ආසන්න ප්‍රමාණයකින් කම්කරු කාර්යාලයේ ලියාපදිංචි වී ඇත්තේ 4000කට ආසන්න ප්‍රමාණයක් බව රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) අනාවරණය කරගෙන තිබේ.
කම්කරුවන් හා කර්මාන්තශාලා සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 2019 කම්කරු පනතට කළ සංශෝධනය මත මෙම ලියාපදිංචිය සිදුකළ යුතු වුවත් එය නිසි ලෙස සිදුවී නැති බවද එහිදී හෙළි වී තිබේ.
ආර්ථික අර්බුදය හා කොවිඩ් අර්බුදය වැනි හේතු නිසා පමා වී ඇති එම ලියාපදිංචි කටයුතු කඩිනම් කරන බව එම කාරක සභාවට කැඳවා සිටි කම්කරු අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සඳහන් කර තිබේ.
ඊට අදාළ දත්ත ලබාගැනීමට කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රමාණවත් නැති නම් වෙනත් නිලධාරීන් හෝ යොදවා මසක් ඇතුළත එහි කටයුතු වාර්තා කරන ලෙස එම කාරක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා උපදෙස් දී තිබේ.
එමෙන්ම සේවක අර්ථසාධක අරමුදල් නිසි පරිදි නියාමනය කරමින් පවත්වා ගෙන යන ආයතන 117ක් ඇති බවද අනාවරණය වී ඇති අතර එම ආයතන ගැන සියලු දත්ත ලබාදෙන ලෙසත් එහි ප්‍රගතිය විමසීම සැප්තැම්බර් මාසයේ සිදුකරන බවත් එහිදී කාරක සභාව දන්වා තිබේ.
මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් පද්ධතියක් සකස් කරන ලෙස එම කාරක සභාවේ කම්කරු ලේකම්වරයා උපදෙස් දුන්නේය.
ඩිජිටල් දත්ත පද්ධතියක් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි භාවිතා නොකිරීම පිළිබඳව ද අවධානය යොමු විය. 2021 වසරේ ඒ සඳහා ලබා දී ඇති මුදලින් 84%ක් ඉතිරි කොට ඇති බවත් 2022 වසරේදී 53%ක් ද 2023 වසරේ 91%ක මුදලක්ද භාවිතා නොකර ඉතිරිකොට ඇති බවද කාරක සභාපතිවරයා පැවසීය. කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය සඳහා මුලින්ම යොමුවුව ද ජාතික ශ්‍රම වෙළෙඳපොළ තොරතුරු පද්ධතිය සකස් කිරීමේ යෝජනාව පැමිණි නිසා එම කටයුතු පමාවූ බව නිලධාරීහු පැවසූහ.
කාරක සභාව පෙන්වා දුන්නේ විවිධ හේතු සාධක නිසා ඩිජිටල්කරණය තවදුරටත් පමාවීම කනගාටුදායක බවයි. මෙලෙස ඩිජිටල්කරණය පමා කිරීම යම් පිරිසකගේ වුවමනාවට සිදුවන බවට සැකයක් ද ඇතිවන බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
කම්කරු අමාත්‍යාංශයේ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරීන් මෙම රැස්වීමට සහභාගි වූ අතර දිස්ත්‍රික් කම්කරු කාර්යාල 40ක පමණ නිලධාරීහු ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.
අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේවන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය විය. එසේම 2021 දෙසැම්බර් 31 වන විට නඩු 5000කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය තත්ත්වයේ පැවතීම පිළිබඳව ද අවධානය යොමු විය. අදාළ ආයතන එම ලිපිනයන්හි නොමැතිවීම හෝ අධ්‍යක්ෂ මණ්ඩල විදේශ ගතවීම වැනි හේතු සාධක මේ සඳහා බලපා ඇති බව නිලධාරීහු පැවසූහ. මේ අනුව සියලු දිස්ත්‍රික්කවල අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැරහැර ඇති සේවා යෝජකයන් පිළිබඳව සහ අදාළ සියලු විස්තර සහිත වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස දැනුම් දුන්නේය.
අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී අයදුම්කරුගේ තොරතුරුවල අඩුපාඩු සහිත වීමෙන් අයදුම්පත්‍ර භාරදීම සඳහා අධික කාලයක් ගතවීම පිළිබඳව ද අවධානය යොමුවිය. අයදුම්පත්‍ර භාරදීමට පැමිණීමට පෙර මහජනතාවට ඒ බව පරීක්ෂා කර බැලීම සඳහා ක්‍රමවේදයක් නොමැති වීම විශාල අඩුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය.
අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (දෙපාර්තමේන්තු) සහ ගණකාධිකාරි (ගිණුම්) මෙම රැස්වීමට නොපැමිණීම සම්බන්ධයෙන් ද කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමු විය. ඒ අනුව ඔවුන්ට නැවත පැමිණෙන ලෙස දන්වන ලද අතර නොපැමිණීමට හේතු ලිඛිතව කාරක සභාවට දැනුම් දෙන ලෙසට ද නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ උපුල් ගලප්පත්ති යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.