විදෙස් නියෝජිතයන් හරහා කැසිනෝ ටෝකන් දීම අවලංගු වෙයි

189

සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරටදී අනිවාර්යයෙන් විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීති රීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රැඳී සිට කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන්ට විදේශයන්හි සිටින නියෝජිතයන් හරහා ටෝකන් ක්‍රමය නිකුත් කිරීම කාලයක් පුරා සිදු කෙරුණු අතර සිය මව් රටේදී මුදල් තැන්පත් කර ශ්‍රී ලංකාවේදී කැසිනෝ හල්වලට ඇතුළු වීමට මෙමගින් පහසුකම් ලැබී තිබිණි.

මෙම ක්‍රමය නිසා මෙරටට ලැබීමට නියමිත ඩොලර්, යුරෝ වැනි විදේශ මුදල් විශාල වශයෙන් අහිමිවී ගොස් ඇති බවට මුදල් අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී තිබූ බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඇතැම් විදේශිකයන් මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල රැඳී සිටිමින් ටෝකන් ක්‍රමය යටතේ දිනපතා කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන බව මුදල් අමාත්‍යාංශය සතු වාර්තා පෙන්වා දෙයි.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට අහිමි වන ඩොලර් ඇතුළු විදේශ මුදල් මෙරටට ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස කැසිනෝ ටෝකන් පත් ක්‍රමය අහෝසි කරන බව ඉහත නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment