කල්ලි දෙකක ගැටුමක් – කොටහේනේ නිවසකට පැන දෙදෙනකුට පහරදුන්නැයි 17-18 තරුණයෝ 2ක් දැලේ

34

කොටහේන බිලිංවත්තේ නිවසකට කඩාවැදී එහි සිටි 70 හැවිරිදි කාන්තාවකට සහ තවත් පුද්ගලයකුට වෙඩි තබා තුවාල කර පලාගිය බව කියන අවුරුදු 17 සහ 18 යන වයස් සීමාවල පසුවන ළාබාල තරුණයන් දෙදෙනකු කොටහේන පොලිසිය වෙත භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා නීතිඥවරුන් මාර්ගයෙන් පෙරේදා (17දා) භාරවූ අතර ඔවුන් පසුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කොටහේනේ පාතාල කල්ලි දෙකක් වන පූකුඩුකන්නාගේ කල්ලිය සහ පලනි රිමෝෂන් නමැත්තා මෙහෙයවන කල්ලිය අතර කාලයක පටන් පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතුවී ඇති බව පොලිසිය පවසයි.

නීතිඥයන් මාර්ගයෙන් භාරවූ තරුණයන් දෙදෙනා මෙම ප්‍රහාරය තමන් විසින් සිදුකළ බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. පොලිසිය තමන් පසුපස ලුහුබඳින බැවින් මෙසේ භාරවූ බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එහෙත් පොලිසිය පවසන්නේ සී.සී.ටී.වී. දර්ශන සහ බුද්ධි තොරතුරුවලින් හෙළිවී ඇත්තේ මෙම ප්‍රහාරයට මොවුන් සම්බන්ධ බවයි.

පසුගිය 16 වැනිදා රාත්‍රියේ එල්ලවූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයා සහ ඇගේ නැන්දණිය වන 70 හැවිරිදි කාන්තාව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රහාරයේ ඉලක්කයවී සිටි 42 හැවිරිදි පුද්ගලයා පූකුඩුකන්නා නමැති පාතාල නායකයාගේ සමීපතමයකු බව පොලිසිය පවසයි.

පලනිරිමෝෂන්ගේ පාර්ශ්වයේ පුද්ගලයකු මරා දැමීමට ආධාර අනුබල දීමේ චෝදනාව මෙම 42 හැවිරිදි පුද්ගලයාට එල්ලවී තිබිණි.

මෙම 42 හැවිරිදි පුද්ගලයා 16 වැනිදා රාත්‍රියේ කොටහේන සුමිත්‍රා මාවතේ පිහිටි නිවසේ සිටියදී එහි පැමිණ ඇති 18 හැවිරිදි තරුණයා ඔහුට සහ ඔහුගේ නැන්දණියට වෙඩි තබා පලාගොස් තිබිණි.

මෙම ප්‍රහාරය එල්ල කර ඔහු පලායන අයුරු සී.සී.ටී.වී. කැමරා දර්ශනවල පවා සටහන් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment