කලා වැවේ ජල කාන්දුවක්

20

මේක පොඩි සිදුරක් නෙවෙයි

බැම්ම කැඩුණොත් ඔක්කොම ඉවරයි – කිරලව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති උඳුරුව ඤානින්ද හිමි

ජනාධිපතිතුමා අවධානය යොමුකර ප්‍රතිසංස්කරණය කරලා දෙන්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති විශාල බිම් ප්‍රමාණයක් ජලයෙන් තෙත් කරන මෙරට විශාලතම වැවක් වන කලාවැවෙහි ජල කාන්දුවක් සිදුවීමෙන් එම ජලාශය අවදානමකට ලක්ව ඇතැයි පරිසරවේදීහු සහ ප්‍රදේශවාසීහු පවසති.

කලාවැවෙහි පිට වාන ආසන්නයේ පිහිටි කොන්ක්‍රීට් වේල්ලෙහි මෙම කාන්දුව සිදු වන අයුරු දැක ගත හැකි විය. පසුගිය වසරේ එම වේල්ල ආසන්නයේම කිසියම් පිරිසක් විසින් කැණීමක් ද සිදුකර තිබුණේ නිධන් වස්තු ලබා ගැනීමේ අදහසිනි. අදාළ කැණීම ද මෙම ජල කාන්දුවට හේතුවක් බව ප්‍රදේශවාසීහු පවසති.

පස්වන ශත වර්ෂයේ රජකම් කළ ධාතුසේන රජ විසින් කලාවැව ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

කලාවැව අක්කර අඩි ලක්ෂයක ජල ධාරිතාවයක් රඳවා තබා ගත හැකි ජලාශයකි. කලාවැවේ සිට තිසාවැව දක්වා සැතපුම් 54 (කිලෝමීටර 86.9) ක් ජලය රැගෙන යන යෝධ ඇළ, ජය ගඟ ආරම්භ වන්නේද කලාවැවෙනි. කලාවැවට ආසන්නයේ අවුකන බුද්ධ ප්‍රතිමාව, විජිතපුර රාජමහා විහාරය ඇතුළු පුරාණ වෙහෙර විහාරස්ථාන ද පිහිටා ඇත.

කලාවැවෙහි මතුව ඇති සිදුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිරලව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ විහාරාධිපති, උඳුරුව ඤානින්ද හිමියෝ මෙසේ කීහ.

කලා වැවේ ජල කාන්දුවක්

“ධාතුසේන රජතුමා නිර්මාණය කරපු මේ මහා යෝධ වැවේ අක්කර අඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ජලය තියෙනවා. ගොවි බිම් අති විශාල ප්‍රමාණයක් මින් වගා කෙරෙනවා. මහවැලි එච් කලාපයේ ගොවි බිම් අති විශාල ප්‍රමාණයක් ඊට අයත්. රාජාංගනයට යනකල් ගොවියෝ පරිහරණය කරනවා මේ ජලය. මේ මහා කලාවැවේ, අඩි 20 ක් විතර උස ඒ වැව් බැම්මේ ජල කාන්දුවක් අඩි හතක විතර උසින් දැන් දින ගණනාවක් තිස්සේ අපිට පේන්න තියෙනවා. කලාවැවේ බැම්ම කැඩුණොත් ගම්මාන රැසක් ජලයෙන් යටවෙනවා. ඒවට වගකියන්නේ කවුද. ඇත්තටම වර්තමාන ජනාධිපතිතුමන්ටත්, කෘෂිකර්ම අමාත්‍යතුමන්ටත්, වාරිමාර්ග අමාත්‍යතුමන්ටත් අපි මතක් කර සිටිනවා ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න කියලා. විශේෂයෙන් ජනාධිපතිතුමන්ගේ ගම් පියස තඹුත්තේගම, ආඩියාගල. එතුමන්ගේ අවධානය මේකට යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

එදා රජවරුන් නිර්මාණය කරපු, කලාවැවට අද හානි උපද්දවලා තියෙනවා. ඒකේ බිසෝ කොටුව තිබ්බා. අද හැබැයි ඒකෙ තිබ්බ වටිනාම දේවල් ටික විනාශ වෙලා අවසානයි. ඒ නිසා දැන්වත් අවධානය යොමු කරලා, වැව් බැම්ම ඉක්මනින් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. නැත්නම් ගොවිතැන් ටික නැති වෙලා යයි. අර පැත්තෙන් නිජබිම් ටික නැතිවෙලා වනසතුන් නැති වෙලා යයි. වතුර ටිකක් නැති වුණොත් වන සතුන් අවට ගම්මානවල තියෙන වැව්වලට ගිහිල්ලා අවට තියෙන ගෙවල් විනාශ කරලා දායි.

කලා වැවේ ජල කාන්දුවක්

මේක පොඩි සිදුරක් නෙමෙයි. මේක පොඩි සිදුරක් කියලා ගණන් නොගෙන හිටියොත් මේක ටිකෙන් ටික ලොකු වෙනවා. පිපිරීම වැඩි වෙලා බැම්ම ගැලවිලා යන්න පුළුවන්. දැනටත් ලොකු වතුර පාරක් යනවා. ජලය අඩු කරලා මේක ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව තියෙනවා.

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා. කලාවැව කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදවත. රජරට වියළි පොළව තෙත් කරන්නේ කලාවැව.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසරවේදියකු වන අලි ආනන්ද ලෙස හඳුන්වන ආනන්ද බංඩාර මහතා මෙසේ පැවසීය.

මම තවත් පරිසරවේදීන් පිරිසක් සමග කලාවැවෙහි වාන ප්‍රදේශය බලන්න ගියා. ඒ අවස්ථාවේදී දැක්කා වාන අසල ජල කාන්දුවක්. මේක මහා විශාල අපරාධයක්. මේක ලොකු වුණොත් කලාවැවක් නැති වෙනවා. පුළුවන් තරම් ඉක්මනින් මේ කාන්දුව නවත්වන්න කටයුතු කරන්න. මීට මාස කීපයකට කලින් බැම්මට ආවේණික නිධානයක් ගත්තා, මේ නිධානය ගත්තාට පස්සේ බැම්මේ බලය නෑ කියලා පැරැන්නොන්ගේ මතයක් තියෙනවා. ඒ නිධානය ගත්තාට පස්සේ තමයි මේ සිදුර මතු වෙලා තියෙන්නේ. දැන් අක්කර 04 ක් විතර තෙමන්න පුළුවන් වතුරක් දවසකට මේ ජල කාන්දුවෙන් පිටවෙනවා. ඒක විශාල අපරාධයක්.

තිසර සමල් – එප්පාවල


advertistmentadvertistment