කවරක්කුලම එස්. අයි. කසිප්පු තොගයක් සමග දැලේ

78

කවරක්කුලම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු නීති විරෝධී මත්පැන් මිලිලීටර් 14250ක්, එම නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, නොච්චිකුලම, ඉහලගම, මිහින්තලේ ලිපිනයේ පදිංචි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඉහත ලිපිනයෙහි පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී සවස හතරට පමණ එම නිවසේ තිබී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 14250ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය කියයි.

තවදුරටත් නිවසේ සිදුකළ වැඩිදුර පරීක්ෂාවකදී සූක්ෂම ලෙස සඟවා තිබූ නීති විරෝධී මත්පැන් පිරීමට උපයෝගී කරගන්නා දෙපස රබර් පටි සවිකරන ලද වට තුනකින් සමන්විත තඹ දඟරයක්, කළු පැහැති බැරල් එකක්, කළු පැහැති යකඩ සිලින්ඩර් එකක් සහ ගෑස් ලිප් එකක් එම නිලධාරියා සන්තකයේ තිබී සොයා ගත් බවද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ මෙහෙයවීමෙන් තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්. කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment