ඔලිම්පික්වලට යළිත් ක්‍රිකට්!

223

ක්‍රිකට් ක්‍රීඩාව 2028 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියට ක්‍රීඩා ඉසව්වක් වශයෙන් ඇතුළත් කිරීමට එම ඔලිම්පික් තරඟාවලියේ සංවිධායකයන් විසින් තීරණය කර ඇති බව එංගලන්තයේ පළවන ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබේ.

2028 වසරේ පැවැත්වෙන ලොස්ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ක්‍රිකට්වලට අමතරව ෆ්ලෑග් ෆුට්බෝල්, බේස් බෝල්, සොෆ්ට් බෝල්, ලැක්‍රෝස් හා ස්කොෂ් යන තරග ද ක්‍රීඩා ඉසව් වශයෙන් අලුතින් එක් කෙරෙන බව ‘ද ගාඩියන්’ පුවත්පතෙහි පළ වී ඇති වාර්තාවේ සඳහන් කර තිබේ.

එම වාර්තාවට අනුව ලොස්ඇන්ජලිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා ක්‍රිකට් ඇතුළු නව ක්‍රීඩා ඉසව් පහක් අලුතින් එකතු කිරීමට එම ඔලිම්පික් සංවිධායකයන් විසින් අනුමැතිය ලබා දී ඇතත් එය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයේදී ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සැසිවාරයෙන් අනතුරුවය.

ඔලිම්පික් ඉතිහාසයේ මෙයට පෙර ක්‍රිකට් ක්‍රීඩාව තරග ඉසව්වක් ලෙස ඇතුළත් කර තිබී ඇත්තේ එක් වතාවක් පමණක් වන අතර ඒ 1900 වසරේ ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියටය.

එම අවස්ථාවේදී පවත්වා ඇත්තේ එක් ක්‍රිකට් තරඟයක් පමණක් වන අතර ‘වෙලෝඩ්‍රෝම් ඩේ වින්සෙන්ස්’ හිදී පවත්වා ඇති තරඟය එංගලන්තය නියෝජනය කළ ‘ඩෙවොන් ඇන්ඩ් සමර් සෙට් වන්ඩර්ස්’ හා ප්‍රංශය අතර පවත්වා තිබේ, එහිදී එංගලන්තය නියෝජනය කළ කණ්ඩායම ප්‍රංශය පරදවමින් ලකුණු 185ක ජයක් වාර්තා කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ඉසව්වක් වශයෙන් නම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සතුටට පත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment