විදෙස් වෛද්‍ය උපාධි මෙරටදී පිළිගැනීමට නිර්දේශ කිරීමට කමිටුවක්

204

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේදී පිළිගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් විසින් ඒකාබද්ධව පෙරේදා (09 දා) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් පසු අනුමත කර ඇත.

මෙම යෝජනාවට අනුව ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට පදනම්කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ වගකීම වේ.

එම නිර්දේශ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීම සඳහා පියවර ගනු ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment