ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් වසර මිලියන 250කින් සියලු ක්‍ෂීරපායි සතුන් මියයනවා – බ්‍රිස්ටල් සරසවියේ විද්‍යාඥයන්ගේ පර්යේෂණයකින් හෙළි වෙයි

142

ගෝලීය උෂ්ණත්වය අධික වීම හේතුවෙන් තවත් වසර මිලියන 250කින් මිනිසුන් ඇතුළු පෘථිවිය මත සිටින සියලුම ක්ෂීරපායි සත්ත්වයන් අතුරුදන් වීම හෝ මියයෑම සිදු වන බව ‘නිව් සයන්ටිස්ට්’ සඟරාවේ පළ කර ඇති නවතම බටහිර පර්යේෂණ වාර්තාවක සඳහන් කර තිබේ.

පරිගණක ආකෘතියක් ඇසුරෙන් පෘථිවියේ මහාද්වීපවල හා දේශගුණයේ දීර්ඝකාලීනව සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කර ඇති පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන ආකාරයට තවත් වසර මිලියන 250කින් පෘථිවියේ වෙසෙන කිසිදු ක්ෂීරපායි සත්ත්වයකුට එම උෂ්ණත්වය දරාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවයි. ඒ හේතුවෙන් එම සත්ත්වයන් සියලු දෙනා මියයනු ඇති බව ද එමගින් හෙළි වී තිබේ.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ දේශගුණය පිළිබඳ විද්‍යාඥයකු වන ඇලෙක්සැන්ඩර් ෆාන්ස්වර්ත් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සිදු කර ඇති මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඉදිරි දේශගුණය මාරාන්තික අයුරින් වෙනස් වන බවත් එයට ප්‍රධාන වශයෙන්ම හේතු වනුයේ සූර්යාලෝකය දරුණු වීම මහාද්වීපවල සිදුවන භූගෝලීය වෙනස්වීම් හා වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් වායුව ඉහළයෑම යන කරුණු තුනයි. ආචාර්ය ෆ්රාන්ස්වර්ත්ට අනුව තවත් වසර බිලියන 7.6කින් පසු සූර්යාලෝකය දරුණු අයුරින් දීප්තිමත් වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මිහිතලය විනාශ වී යයි.

පෘථිවිය උණුසුම් වෙත්ම සාගර හා මහාද්වීපවල පවතින ජලය තවදුරටත් වාෂ්ප වී යන බව ද ඔහු පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment