හොරගොල්ලේදී බණ්ඩාරනායක යුවළගේ සහ අනුරගේ ගුණ සැමරේ

248

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව ඊයේ (26දා) පෙරවරුවේ නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී පැවැත්විණි.

හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වන ගුණ සමරුව සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වන ගුණ අනුස්මරණය ද මීට සමගාමීව සිදු කෙරිණි.

ප්‍රථමයෙන්ම හේවිසි වාදනය කිරීමෙන් අනතුරුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැතිණි. අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමි, අනුනායක නියංගොඩ විජිත හිමි ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවත් සහ අනුශාසනා සිදු කිරීමෙන් අනතුරුව අන්‍ය ආගමික නායකයින් විසින් ද කෙටි අනුශාසනා සිදු කෙරිණි.

බණ්ඩාරනායක ගුණ සමරු ගීතය ඉදිරිපත් කිරීම ඉන් අනතුරුව සිදු කෙරිණි. මෙම සමරු ගීතය ඉදිරිපත් කිරීම මේ දක්වා සිදු කෙරුණේ නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් වන අතර මෙවර පළමු වරට මෙම සමරු ගීතය වේයන්ගොඩ සාන්ත මරියා ජාතික පාසලේ සිසු දරුවෝ සිදු කළහ. අනතුරුව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් ඇතුළු පවුලේ ඥාතීහු සමාධිය වෙත ප්‍රථම පුෂ්පෝපහාර පුදකිරීම සිදු කළහ.

හොරගොල්ලේදී බණ්ඩාරනායක යුවළගේ සහ අනුරගේ ගුණ සැමරේ

ඉන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද, හිටපු කථානායක කරු ජයසූරිය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහත්වරුන් විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර ආරාධිතයින් මෙන්ම ප්‍රදේශවාසීහු ද පුෂ්පෝපහාර දැක්වූහ.

මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පෙටිගොඩ සිරිවිමල, මහාචාර්ය කඹුරුගමුවේ වජිර, වල්පොල පියනන්ද, විද්‍යාලංකාර පිරිවෙන් පරිවේනාධිපති වැලමිටියාවේ ඥානරතන යන නාහිමිවරුන්ද, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජේලාල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන, ජගත් පුෂ්පකුමාර, ජී.එල්. පීරිස්, කුමාර වෙල්ගම, ඒ.එච්.එම්. ෆවුසි, හිටපු මහ ඇමැති සරත් ඒකනායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරල්ලියද්ද, ජීවන් කුමාරතුංග, හිටපු පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුද එක්ව සිටියහ.

වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment