පාස්කු නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඇරැඹේ

111

ප්‍රහාරයක් ගැන ආරංචියෙන් උසාවියේ දැඩි පරීක්ෂා

සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් 2019.04.21 වැනි පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නව්ෆර් මවුලවි, සාජිත් මවුලවි ඇතුළු 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊයේ (10දා) කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ආරම්භ කෙරිණි.

දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන මහත්වරුන් හමුවේදී ආරම්භ කළ එම නඩුවේ සාක්ෂි විභාගයේදී පැමිණිල්ලේ 943 වැනි සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සේවය කළ නිශාන්තා හංසමාලි මෙනවිය පැමිණිල්ල මෙහෙය වන අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන්නාය.

සිද්ධිය වූ දින පාස්කු ඉරිදා දිනයක් වූ නිසා හෝටලයේ නවාතැන් ගෙන සිටි දෙස් විදෙස් සංචාරකයන්ට පමණක් නොව පිටතින් පැමිණෙන අමුත්තන්ට ද විශේෂ ආහාර වට්ටෝරුවක් සකස් කර තිබූ බවත් එදින 10.15 ට පමණ අමුත්තන් ආහාර ගනිමින් සිටි අවන්හල දෙසින් බෝම්බයක් පිපිරුණ හඬ ඇසුන බවත් සාක්ෂිකාරිය සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.

පළමු බෝම්බය පිපිරී ගොස් නොබෝ වේලාවකින් තවත් බෝම්බයක් පිපිරුණ බව ද පැවසූ සාක්ෂිකාරිය එම බෝම්බ පිපිරීම්වලින් මරණයට පත්වූ පිරිසගේ ශරීරවල කොටස් ඒ අවට විසිරී තිබූ බවත් තමන්ගේ හිසට ද එම බෝම්බ ප්‍රහාරවලින් තුවාල සිදුවූ බවත් ප්‍රකාශ කළාය. වැඩිදුර සාක්ෂි විභාගය අද (11දා) දක්වා කල්තැබිණි.

අධිකරණයට රැගෙන එන විත්තිකරුවන්ට හා එම නඩුව විභාග කරන විනිසුරු මඬුල්ලට යම්කිසි ප්‍රහාරයක් එල්ල වන බවට ඇමැති ආරක්ෂක අංශයට තොරතුරක් ලැබුණේ යැයි කියන හේතුව නිසා අධිකරණ ශාලාවට ඇතුළු වන විත්තිකරුවන්, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හා මාධ්‍යවේදීන් දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා නියෝජ්‍ය පොලිස්පති සී. අම්පාවිල, පොලිස් අධිකාරි සමන් පද්මසිරි පෙරේරා යන මහත්වරුන් ද ඊයේ (10දා) අධිකරණයට කැඳවා තිබූ අතර පෙරකී සාක්ෂිකාරියගේ සාක්ෂි ලබාගැනීම අවසන් කිරීමෙන් පසුව අද (11දා) හෝ හෙට (12දා) එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබාගැනීමට නියමිතය.

පැමිණිල්ලේ සාක්ෂි මගින් විත්තිකරුවන් එකී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කිරීමට පෙර අන්තවාදය රට තුළ පැතිර වූ ආකාරය, පුද්ගලයන් ඒ සඳහා පෙළඹ වූ ආකාරය, පුපුරණ ද්‍රව්‍ය රැස්කළ ආකාරය හා බෝම්බ ප්‍රහාරය එල්ල වූ ආකාරය සනාථ කිරීමට පැමිණිල්ල අපේක්ෂා කරන බවත් ඒ සඳහා සී. සී. ටී. වී. දර්ශන විමර්ශකයන් සොයාගත් තොරතුරු හා සාක්ෂි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් විනිසුරු මඬුල්ල අමතමින් පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මේ සියල්ලෙන් පැමිණිල්ල අපේක්ෂා කරනුයේ එකී ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූ පිරිසට හා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීම වන්නේ යැයි ද පැවසුවාය.

නීතිඥ රුෂ්ඩ් හබ්බි, ඉසුරු දේවප්‍රිය, නදීශා කන්නන්ගර, වසීම් අක්‍රම් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment