පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝගයෙන් හොර ස්ටිකර් සහිත මත්පැන් වැටලීමෙන් සුරාබදු ආදායම මාසයට බිලියනකින් නගී

102

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව විසින් කරන ලද නියෝගය සමග සිදුකළ වැටලීම්වලින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මාසයක කාලසීමාවක් තුළ රුපියල් බිලියනයකින් ඉහළ ගොස් තිබේ.

මේ බව අනාවරණය වූයේ ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ රාජ්‍ය මුදල් කාරක සභාවේදීය.

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හේතුවෙන් රටට විශාල සුරාබදු ආදායමක් අහිමි වන බවට තොරතුරු ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා වූ ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව විසින් 2023 අගෝස්තු 10 වැනිදා ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව වැටලීම් සිදු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කරන ලදි. පසුව දිවයින පුරා සුරාසල්වල කරන ලද වැටලීම් වලින් ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකි විය.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා වූ ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවස්ථා ගණනාවකදී ව්‍යාජ ස්ටිකර් නිසා සිදුවන රාජ්‍ය බදු ආදායම් අහිමිවීම වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළේය. එහිදී කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ මත්පැන් බෝතල් මත අලවන ආරක්ෂිත ස්ටිකරය සම්බන්ධ නැවත ටෙන්ඩර් කැඳවා සියලු මත්පැන් නිෂ්පාදකයන්ට ගැළපෙන නව ආරක්ෂිත ස්ටිකර් ක්‍රමවේදයට යා යුතු බවයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment