කළුගේ ඉවෙන් ජීවිත හතරක් බේරෙයි

1172

බෙල්ලන ආඳාදොළ පස් කන්දකට යටවෙන්න ගිය ජීවිත හතරක් නිවසේ සුනඛයා බේරා ගනී

කළු මට යමක් කියන්න වගේ පස්කන්ඩිය ළඟට ගියා. මමත් කළු පිටුපස ගියා. පසුව තමයි මම දැක්කේ නිවස පිටුපස කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා – නිවෙස් හිමිකරු හඬා වැටෙමින් කියයි

අයහපත් කාලගුණයෙන් පෙරේදා(03) දින පැවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණයෙන්ම යටවූ අතර නාය යෑමට විනාඩි 15 කට පෙර නිවසේ ඇති කළ කළු නම් සුනඛයා විසින් කුඩා දරුවෙකු ඇතුළු ජීවිත හතරක් බේරා ගැනීමේ දුර්ලභ සිදුවීමක් වාර්තා වේ.

මෙසේ ජීවිත බේරී ඇත්තේ අගලවත්ත බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ පදිංචි බෙල්ලන විදානලාගේ සෝමසිරි නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරු පවුලයි. දැනට මේ දරු පවුල ඔවුන්ගේ ඥාති නිවසක රැඳී සිටින බව දැන ගැනීමෙන් පසු අප ඔවුන් සොයා අගලවත්තේ බෙල්ලනට ගියෙමු. එහිදී සෝමසිරි මහතාගේ පුත්‍රයා වූ බෙල්ලන විදානලාගේ ශාන්ත කුමාර (අවු:33) මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.

“මමයි මගේ බිරිඳ හර්ෂණී අනුෂ්කා සමග අම්මා ශාන්ති ජයසිංහත් තාත්තා බී.වී. සෝමසිරි සහ මගේ දියණිය සෙත්මි අකීෂා ඇතුළු පස්දෙනාම මේ නිවසේ එකට ජීවත් වෙනවා. මේ සිද්ධිය වුණේ අලු‍යම එකයි පහළොවට පමණ. මහා වැස්සක් සමඟයි. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ මව්පියන් හා මගේ කුඩා දියණිය සමග මා පමණයි. බිරිඳ එදින ගෙදර සිටියේ නෑ. ඇය ඇයගේ මහගෙදර ගොස් තිබුණා. අපි සියලු‍ දෙනාම ඇහැරිලයි හිටියේ. මගේ වයස අවුරුදු දෙකක් වන දියණිය සෙත්මි අකීශා ඇඳට වෙලා හිටියත් ඇයත් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඇහැරගෙන හිටියා. අලු‍යම එකයි පහළොවට පමණ මම සුරතලයට ගෙදර ඇති කරන කළු නම් සුනඛයා බුර බුරා නිවස වටේට යමින් නිවස පිටුපසට වී තදින් බුරන ශබ්දය අපට ඇසුණා. බුරන හඬ වෙනදාට වඩා තදින් දැනුණු නිසා මා නිවසේ දොර ඇරගෙන නිවස පිටුපස බුරන කළු අසලට ගියා. කළු මට යමක් කියන්න වගේ පස්කන්ඩිය ළඟට ගියා. මමත් කළු පිටුපස ගියා. පසුව තමයි මම දැක්කේ නිවස පිටුපස කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා. මම වහාම නිවසට පැන නිවසේ අංශභාග රෝගී තත්ත්වයකින් අසනීප වී සිටි මගේ පියාත් මගේ මවත් ඇඳේ සිටි කුඩා දියණියත් රැගෙන වහාම පැය කාලක් ඇතුළත එළියට පැන දිව්වා සුනඛයාත් අපේ පසුපස දුවන් ආවා. අපට මීටර් පන්සීයක්වත් තරම් දුර පහළට එන්න ලැබුණේ නෑ වාහන දෙකක් එකට හැපෙන සද්දයක් නගමින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් මගේ නිවස නොපෙනී ගියා. මගේ සුරතල් සුනඛයා කළු අපට මේ විදිහට සංඥාවක් නොදුන්නා නම් අපේ ජීවිත හතරක් ඒ මහා පොළොවට යට වී වැළලෙන්නට තිබුණා, නමුත් කළු නිසා අපේ ජීවිත බේරුණා.

කළුගේ ඉවෙන් ජීවිත හතරක් බේරෙයි

මම තේ වගාකරුවෙක් මගේ බිරිඳ හර්ශනී ධනුෂ්කා ඇයත් සමඟ මම බොහෝම දුක් මහන්සිවෙලා හරිහම්බ කරපු මගේ නිවසත් බඩු මුට්ටුත් මේ මහා පස් කන්දට යට වුණා. දැන් මට ජීවත් වෙන්න විදියක් නෑ. මා ජීවත් වූ තේ ඉඩමක් ඒ මහා නායට ගියා. දැන් මගේ දෙමව්පියනුත් මගේ දරු පවුලත් අසරණයි. අපි දැන් තාවකාලිකව නතර වෙලා ඉන්නේ මගේ පුංචි අම්මගේ ගෙදරයි. අපව බේරා ගත් කළුත් දැන් අප සමග ඇවිත් අඹ ගසක් යටට වී හඬමින් මේ නිවසේම ඉන්නවා. මට ඉතිරිවී තිබෙන්නේ ඇඳිවතයි, කළුයි පමණයි. වෙනත් කිසිම දෙයක් දැන් මා සතුව නෑ. අපට මේ අසරණ භාවයෙන් මිදෙන්න රජය මැදිහත් වී උදව් කරන්න කියා ඉල්ලා සිටිනවා,

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment