කාන්තාවන් උදෙසා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සමස්ත කාන්තා පරපුරම ලැබූ ජයක් – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ

46

කානත්ාවන්ගේ අයිතිවාසිකම් රැකගැනීම හා අභිවෘද්ධිය උදෙසා මුල්ම වරට ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමට හැකිවීම සමස්ත කාන්තා පරපුරට ලැබුණු මහත් ශක්තියක් බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිනිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ රාජ්‍ය ඇමැතිනිය මෙසේද කීවාය.

රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ,

කාන්තාව පිළිබඳ ජාතික කොමිෂන් සභාව ඉතිහාසයේ පළමු වතාවට ඇති වන ආයතනයක්. කාන්තා අයිතිවාසිකම් රැක ගැනීමේ යාන්ත්‍රණය හා කාන්තා අභිවෘද්ධිය, කාන්තා සවිබල ගැන්වීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම එහි ඇතුළත්. කාන්තාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ සම්මුතියට අනුව සියලු බැඳීම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමටත් සිදුවෙනවා.

ස්ත්‍රී පුරුෂ භාවය හා ලිංගික දිශානතිය මත ක්‍රියාත්මක වන සියලු වෙනස් කොට සැලකීම් මගින්ද කාන්තාවන් අපේක්‍ෂා කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී තලතා අතුකෝරළ (සජබ)

අද සමාජයේ කාන්තාවගේ දුකක් කියන්න තැනක් නෑ. මෙම කොමිෂන් සභාව හැදීමත් සමග ඊට තැනක් දැන් ඇති වෙනවා. රැකියා ස්ථානයේ හෝ ඕනෑම තැනකදී අයිතීන් ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවට අයිතීන් කඩවීමක් වෙනවා නම් ඒ ගැන ක්‍රියා කළ හැකියි. ඊට තැනක් තියෙනවා.

ආබාධ සහිත කාන්තාවන්ට හිමි බලයක් ලබාදීමත් ඒ අයගේ අයිතිය ආරක්‍ෂා කිරීමත් පනතින් සිදුවෙනවා. කාන්තාවන් ගැන මෙවැනි හෝ පියවර ගැනීම සතුටුයි. එතැනින් ඉදිරියට යෑම කළ යුතුයි.

සමහර කාන්තාවන් ආයතනවල ලිංගික අල්ලස්වලට ගොදුරු වෙනවා. මේවා වැළැක්වීමට ගෙන ආ නීති මගින් අවශ්‍ය පියවර ගත හැකියි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර (ශ්‍රී ල.පො.පෙ.),

අපේ රට කාන්තාවන්ට ගරු කළ රටක්. අද වන විට තරුණ කාන්තාවකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇතිවීම ගැන ලැජ්ජා විය යුතුයි. කාන්තාවන්ට විවිධ අවස්ථාවලදී බලපෑම් ඇති වන නිසා මෙවැනි පනත් ගෙන ඒම ඉතා උචිතයි. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබාදීම ගැන අපි සම්පූර්ණයෙන්ම එකඟයි. රටට ආවේණික සංස්කෘතියක් තියෙනවා. මේ පනතේ කාන්තාව යන්න නිර්වචනය කර නෑ. එය සඳහන් විය යුතුයි. බටහිර ලෝකයේ ඇති හැම දෙයක්ම අපේ කර ගන්න සුදුසු නෑ. ඒ වාගේම මේ පනතේ කාන්තාවන් මව් පදවිය ගැන සඳහනක් නෑ. ගර්භනී මාතාව ගැන කතාවක් නෑ. මේ ආරක්‍ෂාව ගැනත් අපි බැලිය යුතුයි. ගර්භාෂයේ කලලය ගැන සඳහන් විය යුතුයි. එවිටයි එම අංශවල ආරක්‍ෂාව ඇති වන්නේ. දීන හා වනචාරී සංස්කෘති මේ රටට අවශ්‍ය නෑ. මේ වනවිට ඕන තරම් අරමුදල් පිටින් එනවා. ඒවාට අපි අසුවිය යුතු නෑ. ලිංගික විපර්යාස සිදුවූ අය කාන්තාව ලෙස පිළිගන්න බැහැ.

පත් කළ මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය (ජා.ජ.බ.),

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත කාලෝචිත පනතක්. අපේ සහය පළ කරනවා. කාලයක් තිස්සේ කාන්තාවන් වෙනුවෙන් වැඩ කරපු සංවිධාන හා ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමක් වුණේ කාන්තාවන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම මේ පනත තුළින් සිදුවීම ගැන අපි සතුටු වෙනවා.

පනත හුදෙක් ලියැවිල්ලකට සීමා නොවී පනතේ අරමුණ ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය පසුබිම නිරීක්‍ෂණය විය යුතුයි. මේ සඳහා ස්වාධීන ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් විය යුතුයි. සමථකරණයත් ශක්තිමත්ව සිදුවිය යුතුයි.

පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික පසුබිම හා මුදල් නිසි ලෙස ලැබිය යුතුයි. නැත්නම් මේ පනතත් කාන්තාවන්ට නිසි ඵලදායිතාවක් නැති පනතක් බවට පත් වෙනවා. එසේ නොවිය යුතුයි.

පනත් ක්‍රියාත්මක කිරීමේදී පරස්පරතාවක් තිබිය යුතු නෑ. එහෙම වුවොත් පනතින් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කරගන්න බැරි වෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම (ශ්‍රී ල.පො.පෙ.)

පනතේ කොමිෂන් සභාවල සාමාජිකයන් වීමට ඇති නුසුදුසුකම් යටතට ස්ත්‍රී අපරාධ චෝදනාවකට ලක් නොවූ අයත් ඇතුළත් විය යුතුයි.

2012 අවසන් සංගණනය අනුව 2.7%ක් ආබාධිතයි. එය 1,66,200ක්. එහි සියයට 57ක් කාන්තාවන්. ආබාධිතයන්ගෙන් සියයට 34ක් අධ්‍යාපනය ලබා නෑ.

මේ කොමිෂන් සභාව ඉතා වැදගත්. මෙහි ධුරයන් 7න් 2ක් ජනාධිපති පත් කරනවා. මේ 7න් එක් අයෙකු ආබාධ සහිත කාන්තාවක් යන්න පනතට ඇතුළත් කරන්න.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (ස.ජ.බ.)

කාන්තාව ශක්තිමත් කිරීම නීති මගින් විතරක් කරන්න බැහැ. නීති බලගන්වන්න ඕන. ආර්ථික ප්‍රශ්න නිසා කාන්තාවන්ට විශාල ප්‍රශ්න ඇති වෙලා. ගෙවල් පරිපාලනය කරන්නෙ කාන්තාවයි. ආර්ථික ප්‍රශ්න සමග කාන්තාව සියල්ල පාලනය කරන්න වෙලා. පොදු ප්‍රවාහන සේවයේ කාන්තාවන් යන විට විවිධ ලිංගික පීඩාවලට මුහුණ දෙන්න වෙලා. අඩුම තරමින් බස්වල සී.සී.ටී.වී. දාලා හෝ වැරදිකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නෑ.

කාන්තාවගේ ආරක්‍ෂාවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි. රටේ උපත් ප්‍රමාණය අඩුවෙලා. එනිසා ජනගහණය අඩුවීමේ ප්‍රවණතාවක් තියෙනවා.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රී ල.පො.පෙ.)

විදුලිබල පනත බි්‍රතාන්‍යයන් සිට මේ දක්වා ක්‍රියාත්මක වූ සියලු දේ උඩුයටිකුරු කරන නීති ඇතුළත් පනතක්. ණය කළමනාකරණ පනතක් ගේනවා. මොකද්ද මේ හදිසිය. විදුලිබල පනත දවස් කිහිපයක් සාකච්ඡා කළා. ආණ්ඩුවට බහුතරය තියෙනවා නම් සම්මත කරගත හැකියි. ඇයි කාලය දෙන්න බැරි. පනත ගැන දවස් තුනක් කතා කළොත් බහුතරයක් ආණ්ඩුවට නැතිවෙයි කියලා ආණ්ඩුවට බයක් තියෙනවාද? බයක් නැත්නම් දින ගණනක විවාදයක් අපට දෙන්න. කතානායක ඇතුළු මුළු පාර්ලිමේන්තුවටම ඒ සඳහා වගකීමක් තියෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (ශ්‍රී ල.පො.පෙ.),

විදේශ විනිමය ගේන්න විශාල කාන්තා දායකත්වයක් ලබාදෙනවා. නමුත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තවමත් තියෙනවා. විවාහය නිසා කාන්තාවන්ට රැකියාවට යෑම අහිමිවී තියෙනවා. කාන්තාවක් වීම තුළ අසාධාරණයට ලක්වූ අවස්ථා තියෙනවා. උසස්වීම් ලබා ගැනීමට ලිංගික අල්ලස් ලබාදීම් සිදුවෙනවා. මේ ගැන පැමිණිලි කරන්න තැනක් තිබුණේ නෑ. කාන්තා අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න මේ කොමිෂන් සභාව පිහිටවෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment