කුජ හතට බය නොවී හොඳ නරක දැන කටයුතු කරගන්න

1934

කේන්ද්‍රයක කුජ ග්‍රහයා වශයෙන් හැඳින්වෙන්නේ අඟහරුයි. විවාහයකදී කුජ හත්වැන්නේ නම් බොහෝ දෙනෙක් මහත් බියක් දක්වති. කුජ හතේ නම් විවාහ හරියන්නේ නැති බවද, කුජ හතේ නම් හතේ ඇති ස්ත්‍රියක්ම නැතිනම් පුරුෂයෙක්ම සෙවිය යුතුමයි යන අදහසක් ඇත. ඒ බොරු මතය නිසා තරුණ තරුණියන් ගෙදරටම නාකිවෙන අතර මුළු ජීවිතය තිබෙන තුරා විවාහ නොවී සිටින බවද දක්නට ඇත.

කුජගේ ක්‍රියාවන් වන්නේ හිතුවක්කාරකම, මුරණ්ඩුකම, සටන්කාමිත්වය, රණ්ඩු දබර ඇති කර ගැනීමයි. ලේ වලට රුචිකමක් ඇති කුජ ලේ සෙලවීම්ද ඇති කරයි. බන්ධනාගාර ගතවීමටද ඉඩ ඇත. කාමාධික කම නිසා අඩු වයසින් පෙම් සබඳතා ඇති කරගනී. එපමණක්ම නොව, අනියම් ඇසුරට පත්වේ. පරපුරුෂ සේවනයේ යෙදෙයි. කුජ හත නීච නම් විවාහ දිවිය අවුල් වී වෙන්වෙයි. දික්කසාද නඩු, හදිසි කෝපයෙන් සියදිවි හානිකර ගැනීමට ද පෙළඹේ.

මෙම ග්‍රහයාගේ නරක මෙන්ම හොඳ ද ඇත. සමහරෙක් ඉතා වාසනාවන්තව ධනවතුන් වී යුගදිවිය ද සුවසේ විඳිමින් සතුටින් ජීවත් වේ. සමහරු මේ කුජගේ බලයෙන් රජකම ලැබීම, ජනාධිපතිවරුන්වීම, මහ ඇමැතිවරු ආදී ප්‍රභූවරුන් වී ප්‍රසිද්ධියට පත්වන අතර මහ ව්‍යාපාර කර ලොව ප්‍රසිද්ධිය ලබා අධික සේනාවක් සේවා කටයුතුවල යොදවා එම අයට රැකියාදීමට පවා වාසනාව ඇත්තෝ ද වෙති. ඒ නිසා ලග්න දොළහේ කුජගේ පිහිටීම් අනුව ශුභ අශුභ වෙනස් වන නිසා ඔබේ ලග්නයේ කුජ 7 නම් එයින් ඔබට අත්වන හොඳ නරක මෙසේය.

මේෂ ලග්නයහි 7 වැන්න තුලාවයි. එහි අධිපති සිකුරුයි. එහි කුජ සිටියොත් යහපත්ය. මිත්‍රත්වය නිසා මෙම පිහිටීම අනුව ස්ත්‍රී පුරුෂයන් කාමාධිකයි. රාගාධිකයි. යුගදිවිය ඉමහත් සතුටින් ගතකරයි. කාර්ය ශූර්ය වේ. තීක්‍ෂණ බුද්ධියෙන් කටයුතු කරන නිසා කරන රැකියා ව්‍යාපාරයන් දියුණු කර ගනී. හතේ සුබ ග්‍රහයන් දකී නම් බොහෝ යහපත් වේ.

වෘෂභ ලග්නයේ 7 වැන්න වෘෂ්චික වේ. එහි අධිපති කුජය. ඒ අනුව කුජ ක්‍ෂේත්‍ර බලයෙන් සිටින නිසා පංච මහා පුරුෂ යෝගය ලබා විවාහයෙන් පසු විශාල දියුණුවක් ලබයි. විශාල දෑවැද්දක් සහිත විවාහ ජීවිතයකට උරුමකම් ඇත. හදිසි තීරණ ගැනීමේ දුර්වලතා ඇතිකර ගනී. හත් වැන්න පාප ග්‍රහ දැකීමෙන් අයහපත් වේ.

මිථුන ලග්නයේ 7 වැන්න ධනු රාශියයි. එහි අධිපති ගුරුය. එහි කුජ සිටියොත් ඒ මිත්‍ර භාවයෙනි. මෙම පිහිටීම අනුව හොඳ විවාහයක් ඇතිවී චාම් තැන්පත් ගති පැවැතුම් ඇති නිසා විශාල දෑවැද්දකට උරුමකම් ඇත. තමාගේ ධන සම්පත් වැඩි වේ. යහපත් ගති ඇති ස්ත්‍රී පුරුෂයන් ලැබේ. එනිසා මිථුන කේන්ද්‍ර හිමියන්ගේ 7 වැන්න කුජට යෝග්‍ය වේ.

කටක ලග්නයේ 7 වැන්න මකර රාශියයි. අධිපති ශනිය. එහි කුජ සිටියොත් ඒ උච්ච බලයෙනි. එවැනි කේන්ද්‍රකරුවෝ ක්‍රියාශීලීය. උද්යෝගියි. නමුත් කල්පනා නොකර හදිසි තීරණ ගනියි. තමාට නොගැළපෙන පහත් අය සමග පෙම් සබඳතා ඇතිකර ගැනීමෙන් අසහනයට පත් වේ. එයින් සමාජයේ අපිකීර්තිය, නින්දාවන්ට ලක්වේ. විවාහයෙන් පසුද අනියම් පරදාර සේවනය නිසා යුගදිවියේ ගැටුම්, ආරාවුල් ඇතිකර ගනී. ඒ නිසා කටක හිමියන්ට 7 වැන්න කුජට අශුභ වේ.

සිංහ ලග්නයේ 7 වැන්න කුම්භ රාශිය වේ. එහි අධිපතියා ශනිය. එහි කුජ සිටියේ නම් සම තත්ත්වයක් වේ. මෙම පිහිටීම් ඇති ජන්මියෝ ස්ථිර ගති පැවැතුම් ඇත්තෝය. ඔවුන්ගේ ප්‍රේම සබඳතා ස්ථිර වේ. විවාහ දිවිය සාර්ථකයි. දෙදෙනාගේ ආදරය එක සමානය. 7 වැන්නට ශුභ ග්‍රහයකුගේ බැල්ම ඇත්නම් ආදරය වඩාත් යහපත් වේ. මේ අනුව සිංහ ලග්නකරුවන්ට 7 වැන්නේ කුජ ඉතාම යෝග්‍යයි. ශුභපළ දේ.

කන්‍යා ලග්නයේ 7 වැන්න මීන රාශියයි.එහි අධිපති ගුරුය. 7 කුජ සිටියොත් ඒ මිත්‍ර ලීලාවෙනි. විවාහයද තරමක් කල්යයි. ඉක්මන් තීරණය ගන්නා නිසා විපතට පත්වේ. සමහර විට විවාහ කිහිපයක්ම කරගනී. ඒ නිසා කුජට 7 වැන්න අශුභයි.

තුලා ලග්නයේ 7 වැන්න මේෂ වේ. එහි අධිපතියා කුජය. කුජගේ දුර්වල ත්‍රිකෝණ ස්ථානයයි. කුජ එහි සිටී නම් ඔහු තමන්ගේ

සිතැඟියාවෙන් කෙසේ හෝ තම අවශ්‍යතා ඉටුකර ගන්නා අයෙකි. විවාහ දිවිය කටුකයි. විවිධ හිරිහැරවලට ලක්වේ. විවාහයෙන් පසු ආර්ථිකය පහළට වැටේ. බිඳ වැටේ. පවුලේ අසමගිය ඇතිවේ. 7 වැන්නට අශුභ ග්‍රහ දෘෂ්ටි යෙදී නම් තත්ත්වය උග්‍ර වේ. ඒ නිසා තුලා ලග්නයට 7 වැන්න යෝග්‍ය නැත.

වෘෂ්චික ලග්නයේ 7 වැන්න සිකුරුට අයත් වෘෂභ රාශියයි. කුජ එහි සිටී නම් මිත්‍රභාවයකි. මේ පිහිටීම් ඇති කේන්ද්‍රකරුවන් වැඩි වයස් නොගොස් විවාහ වේ. අධික කාමාශාව ඇත්තන්ය. ඒ නිසා අයථා රහස් පෙම් සබඳතාවල පැටලී දුකට පත්ව කරදරවලට මුහුණ පෑමට සිදුවීමෙන් විවාහ දිවිය කැඩී යයි.

ධනු ලග්නයහි 7 වැන්න මිථුන වේ. එය බුධට අයත් රාශියකි. එහි කුජ සිටියොත් සතුරුභාවයෙනි. මේ ග්‍රහ පිහිටන්නෝ විනෝද කාමීයි. අනුන්ට හිරිහැර කර හෝ ආශ්වාදයක් ලබයි. අදහස් ඉක්මනින් වෙනස් කරයි. තැන්පත් ගති ඇත. කාන්තාවන්ට තාඩන පීඩන කර ඒ මගින් තම අදහස් ඉටු කරගනී. ඒ නිසා ධනු ලග්නයේ 7 වැන්නට කුජ යහපත් නොවේ.

මකර ලග්නයේ 7 වැන්න කටක වේ. එහි අධිපති සඳුය. කුජ සිටී නම් ඒ නීචවය. එනිසා කුජගේ මුරණ්ඩුකම් ඉස්මතුවී විවාහ දිවිය අසාර්ථක වේ. වාසනාවන්ත දරුවන් නොලබයි. විවාහ වීමෙන් පසු දෙදෙනා අතර මතභේද ඇතිවී ගැටුම් ඇතිවී වෙන්වීමටද ඉඩ ඇත.

කුම්භ ලග්නයෙහි 7 වැන්න සිංහ වේ. එහි අධිපති රවිය. එහි කුජ සිටී නම් ඒ මිත්‍රවයි. මේ පිහිටීම් ඇත්තෝ නිතර ප්‍රීතියෙන් යුගදිවිය ගත කරන අතර තම සහකරුට, සහකාරියට සෙනෙහසක් ඇති අය වේ. අදහස් අවංකයි. එනිසා යුග දිවිය සතුටින් ගත කරන අතරම විවාහයෙන් පසු ශීඝ්‍ර දියුණුවක් ඇතිවේ.

මීන ලග්නයෙහි 7 වැන්න කන්‍යා රාශියයි. කුජ එහි සිටින්නේ නම් මිත්‍රවයි. මෙම ග්‍රහ පිහිටීම් ඇත්තන්ගේ විවාහ ප්‍රමාද වේ. එහෙත් වයස් ගත වුවද යහපත් වාසනාවන්ත විවාහයක් සිදුවේ. ආර්ථිකයද ටිකක් දුර්වල වේ. එහෙත් සමගි සම්පන්න විවාහයකට උරුමය ඇත. ඒ නිසා මීන ලග්න කේන්ද්‍රයේ 7 වැන්න කුජට සුබවේ.

ඉහත විස්තර අනුව කුජ හත්වැන්නේ අපල සමනය කර කුජ දෝෂ භංග කර වාසනා වැසි වැසීමට මණ්ඩල ශීලම්බර හෝ කන්දකුමාර යන්ත්‍රය පලඳා කුජ දිනක කුජහෝරාව තුළදී කතරගම දෙවියන්ට පූජාවක් තබන්න.

කුජ හතට බය නොවී හොඳ නරක දැන කටයුතු කරගන්න

ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 0770730062


advertistmentadvertistment