බුදු අම්මෝ මට වෙඩි තිබ්බා…
බඩෝවිට අසංකගේ – කොස්මල්ලීගේ කුඩු ගැටුමක ප්‍රතිඵලයක්
පොලිස් විමර්ශනවලින් හෙළිවේ
බුදු අම්මෝ මට වෙඩි තියෙනවෝ යැයි කියමින් දිවිගලවා ගැනීමට ගාලුපාර ඔස්සේ ඊයේ (05දා) උදෑසන දිවගිය 19 හැවිරිදි අහිංසක තරුණයකු පසුපස පන්නාගෙන ආ පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු දෙනෝදාහක් දෙනා බලා සිටියදී ඔහුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත. මෙම ඝාතනය බඩෝවිට අසංක නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නියෝගයක් මත සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
ගල්කිස්ස ප්‍රදේශය සිය මත්ද්‍රව්‍ය රාජධානිය කරගෙන සිටින කොස්මල්ලී සහ බඩෝවිට අසංක අතර පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙහිදී ඝාතනයට ලක්වී ඇත්තේ 19 හැවිරිදි ප්‍රවීන් නිසංක නමැති තරුණයෙකි. මොහු ගල්කිස්සේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන නිම්මි ප්‍රමේදා ෆොන්සේකා හෙවත් කුඩු චතුරි නමැති කාන්තාවගේ පුත්‍රයා බව පොලිසිය පවසයි.
කුඩු චතුරි කොස්මල්ලී නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ළඟම ඥාතියකු වන අතර ඇය මේ වනවිට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියි.
පොලිසිය සැක පහළ කරන්නේ කොස්මල්ලිගෙන් පළිගැනීමට බඩෝවිට අසංක විසින් කුලී ඝාතකයන් යොදවා මෙම ඝාතනය කරන්නට ඇති බවයි. ඝාතනයට ලක්වූ 19 හැවිරිදි තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හෝ වෙනත් කිසිදු අපරාධයකට සම්බන්ධ නැති අහිංසකයකු බව පොලිසිය පවසයි.
ඊයේ උදෑසන 6.30ට පමණ මෙම තරුණයා ගල්කිස්ස ශාන්ත සිල්වෙස්ටර් මාර්ගය අතුගාමින් සිට ඇත. ගල්කිස්ස නගර සභාවේ සේවකයකු ලෙස රැකියාව කරන හෙතෙම ඊයේ උදෑසන සිය රාජකාරියේ යෙදී සිටියදී මෙම ප්‍රහාරයට ලක්විය.
මුහුණු ආවරණය වන හිස් වැසුම් පැලඳ සිටි කුලී ඝාතකයන් දෙදෙනා ශාන්ත සිල්වෙස්ටර් මාර්ගය ඔස්සේ තරුණයා පසු කරගෙන ගොස් පසුව යතුරුපැදිය ආපසු හරවාගෙන පැමිණ ඔහුට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය තරුණයාගේ පාදයකට එල්ල වූ අතර ඔහු බුදු අම්මෝ මිනී මරණවෝ මට වෙඩි තියනවෝ යැයි විලාප නඟමින් අතුරුමාර්ගයක් ඔස්සේ දිවගොස් ගාලුපාරට පැමිණ තිබේ. සිය ඉලක්කය වැරදී ගිය බව දැනගත් කුලී ඝාතකයන් දෙදෙනා යතුරුපැදිය ආපසු හරවාගෙන තරුණයා ලුහුබැඳ ගාලුපාරට පැමිණ ඇත.
තරුණයා ගාලුපාර ඔස්සේ ටික දුරක් දිවගොස් මාර්ගය අසල නතර වී හතිඅරිමින් සිටියදී පසුපසින් පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා ඔහු ඉලක්ක කර නැවත වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ.
ගාලු පාරේ දෙනෝදාහක් දෙනා බලා සිටියදී තරුණයාට වෙඩි තබා ඝාතනය කළ කුලී ඝාතකයන් නිරුපද්‍රිතව පලාගොස් ඇත. මිලි මීටර් 09 වර්ගයේ අවියක් මෙම ප්‍රහාරය සඳහා භාවිතා කර තිබේ.
සීසීටීවී දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, පින්සිරි ආරියරත්න