බී ලූනු මිල නහුතෙට නැග්ග හේතුව හෙළිවේ

208

දෙන්නේ පාකිස්තානයෙන් විතරයි
ආනයනකරුවන්ගේ සංගමයේ නිහාල් සෙනවිරත්න

මේ දිනවල වෙළෙඳපොළ තුළ බී ලූනු මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතු වී ඇත්තේ ඉන්දියාව ඇතුළු මෙරට ට බී ලූනු සපයන බොහෝ රටවල් එකවරම සැපයීම නවතා දැමීම නිසා බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා ‘දිවයින’ට ඊයේ (13දා) කීවේය.

ඉන්දියාව මේ රටේ බී ලූනු අවශ්‍යතාවයෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් සපයන අතර ඊට අමතරව තුර්කිය, ඉරානය හා ඊජිප්තුව යන රටවල් ද මෙරට බී ලූනු අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපයයි. පසුගිය දිනවල ඉන්දියාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එරට බී ලූනු අපනයනය නවතා දැමීමට තීරණය කිරීමත් සමග සෙසු රටවල් තුන ද බී ලූනු සැපයීම නවතා දැමීමට කටයුතු කළේය. ඒ අනුව මෙරට බී ලූනු අවශ්‍යතාවයෙන් 80%ක් පමණ සැපයීම එකවරම නැවතුණු අතර පකිස්තානය පමණක් බී ලූනු සැපයීම අඛණ්ඩව සිදු කළත් මේ වනවිට ඔවුන් ද බී ලූනු අපනයනය කිරීමේදී විවිධ කොන්දේසි පනවමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා කීවේය.

පකිස්තානය බී ලූනු සැපයීමේදී අධික මිලක් නියම කිරීමට අමතරව විශාල අත්තිකාරම් මුදලක් ඉල්ලා සිටීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරියේදී පකිස්තානයෙන් බී ලූනු ගෙන්වීම ද නතර කර දැමීමට සිදුවිය හැකි බව පවසන සෙනවිරත්න මහතා එසේ සිදුවුවහොත් මෙරට බී ලූනු වෙළෙඳපොළ විශාල අර්බුදයකට ලක්විය හැකි බවද කීවේය.

මේ වනවිට මෙරට බී ලූනු වගාවේ අස්වැන්න නෙළීමද සිදුනොවන නිසා දේශීය බී ලූනු මෙරට වෙළෙඳපොළට නොපැමිණෙන බව ව්‍යාපාරිකයෝ පවසති.

මේ දිනවල බී ලූනු කිලෝවක තොග මිල රුපියල් 400-450 දක්වා ඉහළ ගොස් ඇති අතර වෙළෙඳපොළේ සිල්ලර මිල රුපියල් 500කට ආසන්න වී ඇත.

බී ලූනු මිල මෙතරම් ඉහළ අගයකට ගිය පළමු අවස්ථාව මෙය බව පාරිභෝගිකයෝ පවසති. රජය මැදිහත් වී මෙම අර්බුදය විසඳීමට කටයුතු නොකළහොත් ඉදිරි උත්සව සමයේ විශාල අර්බුදයකට ලක්විය හැකි බව ජනතාව කියති.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment